දුම්කොළ තහනමට නීති හදන්න කලින් වගාකරුවන් හා සාකච්ඡා කරන්න

  👤  3904 readers have read this article !
By mawbima 2018-05-17

දුම්කොළ වගාව තහනම් කිරීමට අදාළව නීති පැනවීමට ප්‍රථම දුම්කොළ වගාකරුවන් සමඟ සාකච්ඡා කර ඇති කරගත් එකඟතා ක්‍රියාත්මක කර දුම්කොළ ගොවීන්ගේ ජීවනෝපාය මාර්ග ආරක්‍ෂා කිරීමට ආණ්ඩුව ක්‍රියා කළ යුතු බව සමස්ත ලංකා සිගරැට් දුම් උඳුන් හිමි සංගමය ප්‍රකාශ කරයි.


'මව්බිම' පුවත්පතේ 2018-03-02 දින 'දුම්කොළ කෘෂි ක්‍ෂේත්‍රවලින් ඉවතට - යල කන්නයට පෙර ගැසට් එක එළියට' යන සිරස්තලය සහිතව පළවූ පුවත පිළිබඳ සිය ස්ථාවරය පැහැදිලි කරමින් එම සංගමය යොමු කර ඇති ලිපියකින් මේ බව අවධාරණය කර තිබේ. සංගමය පෙන්වා දෙන පරිදි දිවයින පුරා ගොවීන් 20,000කට අධික සංඛ්‍යාවක් සිගරැට් දුම්කොළ වගාවේ නිරතව සිටින අතර ඒ සඳහා ඔවුන් මෙරට සමස්ත භූමියෙන් 0.01% වැනි ඉතාම සුළු ප්‍රමාණයක් යොදාගෙන සිටී.


වෙනත් විකල්පයක් නොමැති නිසා දුම්කොළ ගොවීන් එම කර්මාන්තයේ නිරත වී සිටිනා අතර විකල්ප බෝග වගාවකට ඔවුන් යොමු නොකොට දුම්කොළ වගාව තහනම් කිරීමට රජය ක්‍රියාකළහොත් ඒ තුළින් එම කර්මාන්තයේ නිරත ගොවීන්ට අසාධාරණයක් සිදුව ඇති බව එම සංගමය පෙන්වා දෙයි.


එම නිසා කඩිමුඩියේ දුම්කොළ වගාව තහනම් කිරීමේ නීති හඳුන්වාදීමට ප්‍රථම සිගරැට් දුම්කොළ වගාකරුවන් සමඟ සාකච්ඡා කර දැනට ඇති කරගෙන තිබෙන එකඟතාවන්ට අනුව ක්‍රියාකරන ලෙසද එම සංගමය රජයෙන් ඉල්ලා සිටී.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon