දින හතරක් තිස්සේ වතුර නෑ කියා පුත්තලම ජල සම්පාදන මණ්ඩලය ඉදිරිපිට පුද්ගලයකු උපවාස කරලා

  👤  3887 readers have read this article !
By mawbima 2018-05-17

පුත්තලම -රෝෂරී පෙරේරා

දින හතරක් තිස්සේ ජලය ලබා නොදීමට එරෙහිව පුත්තලම ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ ප්‍රධාන පිවිසුම් ‍ෙදාරටුව ඉදිරිපිට පුද්ගලයකු විරෝධතාවක නිරතව සිටී.

මෙලෙස විරෝධතාවක නිරත වූයේ සේනකුඩිරිප්පුව පදිංචිකරුවකු වන ලාල් අශෝකා නමැති අයෙකි.

පෙට්රල් බෝතලයක් සහ ගිනි පෙට්ටියක් සිරුර මත තබාගෙන බිම දිගාවී ඉක්මනින් ජලය ලබා නොදුන්නහොත් ගිනි තබා ගන්නා බව ඔහු ප්‍රකාශකොට ඇත. තමන්ට පමණක් නොව ප්‍රදේශයේ පවුල් 5000ක් පමණ ජලය නොමැතිකමින් පීඩාවට පත්වී ඇති බව ඔහු පැවැසීය. ඊයේ පෙරවරු 9.00ට පමණ ආරම්භ කළ විරෝධතාවට සහයෝගය ලබාදීම සඳහා ප්‍රදේශයේ ජනතාව පෙළගැසෙන්නට වීමත් සමඟ තත්ත්වය උණුසුම් විය.

පුත්තලම පොලිසියේ නිලධාරීන්ද එම ස්ථානයට පැමිණියේ ඉන් අනතුරුවය. ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ නිලධාරීන් හා විරෝධතාකරුවන් අතර වූ සාකච්ඡාවෙන් පසු ඊයේ සවස් වීමට පෙර ජලය ලබාදෙන බවට පොරොන්දු වූයේ ජලාපවහන මණ්ඩලයේ නිලධාරීන් විසිනි. විරෝධතාකරුවන් විසිර ගියේ ඉන් අනතුරුවය. ඔවුන් එම ස්ථානයෙන් පිටවීමට පෙර නිලධාරීන් හමුවේ පැවැසුවේ ජලය නොලැබුණහොත් දැඩි ක්‍රියාමාර්ගයකට යන බවයි.

පුත්තලම ජලසම්පාදන මණ්ඩලයට ජලය සැපයෙන ආසියානු සංවර්ධන ආධාර යටතේ ක්‍රියාත්මක එළුවන්කුලම ජල ව්‍යාපෘතියේ ජල නළ පුත්තලම ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ ජල නළ හා සම්බන්ධ කිරීමේදී සිදුවූ ප්‍රමාද දෝෂයක් හේතුවෙන් ජල නළයක් පුපුරා යෑම නිසා ජලය බෙදා හැරීමට නොහැකිවී වූ බව සාකච්ඡාවේදී ප්‍රකාශ විය.

තත්ත්වය යථා තත්ත්වයට පත්කර ජනතාවට කඩිනමින් ජලය ලබාදීමට පියවර ගන්නා බව පුත්තලම ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ නිලධාරීහු පැවැසූහ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon