සීගිරියේ සැරිසැරූ දෑස් අඳ අලියා ඇත් අතුරු සෙවණට

  👤  3898 readers have read this article !
By mawbima 2018-05-17

දඹුල්ල - කේ.කේ. ආරියදාස

වෙඩි වැදීමකින් හෝ කුමන හෝ අනතුරකින් ඇස්දෙක අන්ධව සීගිරිය අභය භූමියේ සහ ගම්මානවල නිරන්තරයෙන් සැරිසැරූ වන අලියා වනජීවී නිලධාරීන් විසින් අල්ලා උඩවලව ඇත් අතුරු සෙවණට රැගෙන යෑම සඳහා සූදානම් කොට තිබේ.

ප්‍රදේශවාසීන්ගෙන් ලැබුණු තොරතුරු මත සීගිරිය වනජීවී කාර්යාලයේ නිලධාරීන් මාස කිහිපයක් තිස්සේ මේ ඇස් නොපෙනෙන අලියා පිළිබඳව නිරීක්‍ෂණය කොට තිබිණි. අලියාගේ ජීවිත අවදානම නිසා වනජීවී නිලධාරීන්ගේ මැදිහත්වීම මේ සීගිරි අභය භූමියෙන් රැගෙන යෑමට පෙරේදා (15දා) රාත්‍රියේ අලියා නිර්වින්දනය කොට ගස් බැඳි බව සීගිරිය වනජීවී නිලධාරීහු පවසති.

දෑස් නොපෙනන මේ අලියා මිනිසුන් වාසය කරන ප්‍රදේශවලට ගමන් කිරීම සහ ගස්වල හැපීම මෙන්ම මිනිසුන් විසින් වෙඩි තැබීම නිසා ශරීරයේ තුවාල රැසක් පවතින බව සීගිරිය වනජීවී නිලධාරීහු පවසති. වයස අවුරුදු හතළිහක් පමණ වූ මේ අලියා කලක පටන් සීගිරිය ප්‍රදේශයේ සැරිසැරූ නමුත් අලියාගෙන් කිසිදු අයකුට කරදරයක් සිදු නොවුණු බව ප්‍රදේශයේ භික්‍ෂුන් වහන්සේනමක් අප සමඟ පැවැසූහ. ඇස් දෙක නොපෙනෙන මේ වන අලියා අල්ලා ගස් බැඳ දමා තිබියදී බොහෝ දෙනකු අලියා බැලීම සඳහා එම ස්ථානයට දිව එන අයුරු සහ අලියා ආසන්නයට වී ඔහුට කෙසෙල් කොට ආහාරය සඳහා ලබාදීමද දැක ගැනීමට හැකිවිය. වනජීවී දෙපාර්තමේන්තුවේ පශු වෛද්‍ය ඩී.එම්. ධර්මකීර්ති මහතා ඇතුළු කණ්ඩායමක් සීගිරිය ප්‍රදේශයේ රැකවල්ලා සිට නිර්වින්දනය කොට මේ අලියා ගැට ගැසූ බව වනජීවී නිලධාරීහු පවසති. වන අලියා උඩවලව ඇත් අතුරු සෙවණට රැගෙන ගොස් ප්‍රතිකාර කිරීමට බලාපොරොත්තු වන බව වනජීවී නිලධාරීහු වැඩිදුරටත් සඳහන් කළහ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon