ඉරණතිව් දූපතේ ඉඩම් යළි මුල් අයිතිකරුවන්ටම

  👤  3718 readers have read this article !
By mawbima 2018-05-17

වවුනියාව - රසාදි චතුරංගි ගමගේ

කිලිනොච්චිය ඉරණතිව් දූපතේ ඉඩම් ඒවායෙහි අයිතිකරුවන්ට ලබාදීමට තීරණය කොට තිබේ.

නාවික හමුදාපති රියර් අද්මිරාල් එස්.එස්. රණසිංහ, යළි පදිංචි කිරීමේ අමාත්‍යාංශයේ ලේකම් ආර්. සුරේෂ්, කිලිනොච්චිය දිසාපති සුන්දරම් අරුමේනායගම් යන මහත්වරුන් පෙරේදා (15දා) ඉරණතිව් දූපතට ගොස් එහි පැවැති සාකච්ඡාවකදී තීරණය කොට ඇත්තේ වර්ග කිලෝමීටර් හතක් පමණ වන මේ දූපතෙන් නාවික හමුදාවට අක්කර 8ක් පමණක් තබාගෙන සෙසු ඉඩම් ඒ දූපතේ කලින් පදිංචිව සිටි වැසියන් අතර බෙදා දීමටය.

ඉරණතිව් දූපතේ ඉඩම් තමන්ට ලබාදෙන ලෙස ඉල්ලමින් එම දූපතේ කලින් පදිංචිව සිටි වැසියෝ වසරක කාලයක් කිලිනොච්චිය නගරයේ අඛණ්ඩ විරෝධතාවක නිරත වූහ. නමුත් ඔවුන්ට ඉඩම් නොලැබීම නිසා පසුගිය අප්‍රේල් මස 23 වැනිදා බෝට්ටුවලින් 300ක පමණ වැසියන් පිරිසක් එම දූපතට ගොස් බලහත්කාරයෙන් පදිංචි වූහ. උතුරු පළාත් ප්‍රධාන අමාත්‍යවරයා ඇතුළු පිරිසක් වරින් වර මේ වැසියන්ගේ සුවදුක් බැලීමට ගොස් ඔවුන්ට අවශ්‍ය ආහාරපාන ඇතුළු පහසුකම්ද ලබාදෙන ලදී.

යළි පදිංචි කරවීමේ අමාත්‍යාංශයේ ලේකම්වරයා මේ වැසියන් අමතා පවසන ලද්දේ එම ඉඩම් දැනට ඉරණතිව් දූපතේ වැසියන්ට අයත් බවයි. නමුත් ආරක්‍ෂක කටයුතු සඳහා නාවික හමුදාව ඉරණතිව් දූපතේ සිටීම ඉතා වැදගත් බැවින් නාවික හමුදාවේ ප්‍රයෝජනයට ඉඩම් අක්කර 8ක් ලබාදෙන බවද ලේකම්වරයා ප්‍රකාශ කොට තිබේ. ඉරණතිව් දූපතේ කලින් පදිංචිව සිටි පවුල් 190ක් වහාම එම දූපතේ යළි පදිංචි කරවීමටත් ඔවුන්ට අවශ්‍ය සියලුම පහසුකම් සලසා දීමටත් කිලිනොච්චිය දිසාපතිවරයාට මේ සාකච්ඡාවේදී පවසා තිබේ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon