තෙල් මිල ඉහළ දමලා බස් ගාස්තු වැඩි කිරීමට ආණ්ඩුවට අයිතියක් නැහැ

  👤  3930 readers have read this article !
By mawbima 2018-05-17

ලෝක වෙළෙඳපොළේ තෙල් මිල ශීඝ්‍ර ලෙස පහළ වැටෙද්දී වසර 3ක් තිස්සේ එහි වාසිය ජනතාවට ලබා නොදුන් ආණ්ඩුව, තෙල් මිල ඉහළ ගියා යැයි කියමින් එම අවාසිය ජනතාව මත පැටවීම අනුමත කළ නොහැකි බව ජාතික නිදහස් පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රි ජයන්ත සමරවීර පවසයි.

මන්ත්‍රිවරයා මේ බව පැවැසුවේ ඊයේ (16දා) පිටකෝට්ටේ පිහිටි ජාතික නිදහස් පෙරමුණ කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි.
එහිදී ඔහු මෙසේද පැවැසීය.

ආණ්ඩුව මේ වෙලාවෙ කරන්න ඕන තෙල් මිල තිබුණු මට්ටමට පවත්වාගෙන යෑමයි. ආණ්ඩුව ඒ පාඩුව දරන්න ඕන. හේතුව තෙල්වලින් ලැබුණු ලාභය මිනිස්සුන්ට නොදුන් නිසා.

2015 ඉඳන් ලෝක වෙළෙඳපොළේ තෙල් මිල අඩු වුණා. බොරතෙල් බැරලයක් ඩොලර් 36.68 දක්වා අඩු වුණා. එහෙම අඩු වීම නිසා තෙල් ආනයන වියදම ඩොලර් බිලියන 5යි. ඉන් පසුව 2015, 2016, 2017 වර්ෂවලදී ඩොලර් බිලියන 2.4කට වඩා වැඩි මුදලක් ලංකාවෙ ඉතිරි වුණා. ඒ කියන්නේ බොරතෙල් බැරලයක මිල 50%කින් පමණ අඩුවීමෙන් ඒ වසර කිහිපයේ ඉතිරි වුණා එපමණ මුදලක්. නමුත් ඒ වාසිය මේ ආණ්ඩුව ජනතාවට දුන්නද? ඒ වාසියෙන් එකතු වුණු මුදල් කන්දරාවට මොකද වුණේ?
එහෙම අත ඉතිරියක් තියෙද්දී තමයි මේ ආණ්ඩුව හම්බන්තොට විකුණාගෙන කෑවෙ. එක පැත්තකින් රටේ දේපළ විකුණගෙන කනවා. හැබැයි මේ ආණ්ඩුවට වෙලා තියෙන ඛේදවාචකය තමයි දේපළ විකුණ විකුණත් රටේ ජනතාවට හරියට කන්න බොන්න අඳින්න පලඳින්න දෙන්න විදියක් නැහැ. දේපළ විකුණනවා. රටේ ආර්ථික මර්මස්ථාන විකුණනවා. අනෙක් පැත්තෙන් ඒ සල්ලිත් කාබාසිනියා කරනවා.

මේ සිරිසේන-වික්‍රමසිංහ ආණ්ඩුව අද ඔප්පු කරලා පෙන්වලා තියෙනවා මේ ආණ්ඩුවට බැහැ. ඒ නිසා අපි කියනවා මේ ආණ්ඩුවට තෙල් මිල ඉහළ දමා බස් ගාස්තු වැඩි කිරීමේ අයිතියක් නැහැ.

බස් ගාස්තු වැඩි කළා කියන්නේ භාණ්ඩ හා සේවාවල මිල ගණන් ආයෙත් ඉහළ යනවා කියන එක. මේ සෑම දෙයකින්ම පීඩනයට පත්වෙන්නේ මේ රටේ අහිංසක ජනතාව.
එක පැත්තකින් නව ආදායම් බදු පනත ක්‍රියාත්මක කරලා රටේ සෑම සියලු පුරවැසියෙක්ම බදු දැලට ගොදුරු කරගත්තා. එහෙම ජනතාව මතට බදු බර දාලා ජන ජීවිත කඩාවට්ටන ගමන් අනෙක් පැත්තෙන් තෙල් මිලත් ඉහළ දැම්මා.

ඒකෙ ප්‍රතිඵල ලෙස බස් සංගම් කිහිපයක් 20%ක බස් ගාස්තු වැඩිවීමක් ඉල්ලලා වර්ජනයකට එළැඹෙනවා. ආණ්ඩුව කියන්නේ 6.5%ක බස් ගාස්තු ඉහළ දැමීමක් කරනවා කියලයි.

අද වන විට ධීවර ජනතාව බරපතළ පීඩනයකට නතු වෙලා. වතුකරයේ ජනතාව බරපතළ පීඩනයකට පත්වෙලා. වෙළෙඳ කලාපවල දහ දුක් විඳින පිරිස් උයා පිහාගෙන කන්නෙ භූමිතෙල්වලින්. ඔවුනුත් පීඩාවට ලක්වෙලා.

මේ ආණ්ඩුව ආවෙ මහින්ද රාජපක්ෂ ආණ්ඩුව කළේ කොන්ක්‍රිට් සංවර්ධනයක්, ජනතාවට කන්න, අඳින්න, බොන්න දුන්නෙ නැහැ, ජනතාව හිඟමනට පත් කළා කියලා. ජනතාවට සහන දෙනවා, බදු බර අඩු කරනවා. බඩු මිල අඩු කරනවා, ජීවන මිල අඩු කරනවා, කියලා ආපු ආණ්ඩුව අපි කන බොන අඳින පලඳින සෑම සියලු සබ්බ සකලමනාවම මිල ගණන් අහස උසට වැඩිකරලා තියෙනවා.

මේකට වගකියන්න ඕන වික්‍රමසිංහයි සිරිසේන මහත්තයයි විතරක් නෙවෙයි. මේ යහපාලන නඩය බලයට පත්කරන්න කෑ මොර දීපු ජවිපෙත් මේකට වගකියන්න ඕන.
අද තෙල් මිල වැඩිවෙලා ජනතාව මහමඟට වැටෙනකොට බදු බර දරාගන්න බැරිව හූල්ලනකොට මේ හැම වේදනාවකටම, ළතෝනියකටම සිරිසේන වික්‍රමසිංහ වගේම ජවිපෙ නායකත්වයත් වගකියන්න ඕන.

හර්ෂනී අර්සකුලරත්න

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon