පොළොවේ පය ගසා ජීවත් නොවන්නන් ඇමැති පට්ටම් අරන් වැඩක් නෑ

  👤  3931 readers have read this article !
By mawbima 2018-05-17

තනතුරුවලට වඩා වටින්නේ මහජන සේවාව බවත් තාන්න මාන්න පට්ටම් වැනි ඇමැතිකම්වලට වඩා වැදගත් වන්නේ මහජනතාව පෙළෙන ප්‍රශ්න හා ගැටලුවලට විසඳුම් ලබාදීම බවත් එසේ කරන්නට නම් මැති ඇමැතිකම් සියල්ල පැත්තකට දමා අප මහපොළොවේ පය ගසා ජීවත් විය යුතු යැයි නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස අවධාරණය කරයි.

දූවිලි පාගමින් අව්වට වේළෙමින් වැස්සට තෙමෙමින් අප ජනතාවට සේවය කළ යුතු බවත් විවෘත කරන උදාගම්මානවල සෑම නිවෙසකටම යන්නේ මිනිසුන්ගේ දුක සැප, සතුට කඳුළ පිළිබඳව අවබෝධයක් මෙන්ම අත්දැකීම් ලබා ගැනීමට බවද අමාත්‍යවරයා පෙන්වා දෙයි.

ත්‍රිකුණාමලය, මුතූර් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ අක්බාර් නගර්හි ඉදිවූ "මොහමදියා නගර්" සහ "අබුරාර් නගර්" 63 සහ 64 වැනි උදාගම්මාන ජනතා අයිතියට පැවැරීම නිමිත්තෙන් පැවැති උත්සවයේදී අමාත්‍යවරයා මෙම අදහස් ප්‍රකාශ කළේය.

අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් මෙසේ සඳහන් කළේය.
නිවාස ගැටලුවෙන් පීඩා විඳින පවුල් 2,000කට නිවාස ණය ආධාර ලබාදීමේ අයැදුම්පත්‍රයි මා අද ඔවුන්ට ලබා දුන්නේ. එක් අයකුට අයැදුම්පත්‍ර 500 බැගින් ලබා දුන්නා. එම නිවාස ණය ලබාදීමට මා තවත් මාස තුනකින් මෙහි පැමිණෙන බවත් ආඩම්බරයෙන් ප්‍රකාශ කරනවා.

මෙරට පවුල් 275,739කට නිවාස ගැටලු විස¼දා ගැනීමට වසර තුනක කාලය තුළදී අප ආධාර උපකාර කර තිබෙනවා.

සේරුවාවිල මහා විහාරයේ නායක මාහිමිපාණන්ට මා නමස්කාර පූර්වක ස්තුතිය පළ කරනවා. අපි සිදු කරමින් යන උදා ගම්මාන වැඩපිළිවෙළ පිළිබඳව උන්වහන්සේ සතුටු වී උදා ගම්මාන ඉදිකිරීමට විහාරස්ථානයට අයිති ඉඩම්වලින් කොටසක්ද අප වෙත ලබා දුන්නා. අද ජනතා අයිතියට පත් කළ මේ ගම්මාන දෙක ඉදිවන විට යම් ප්‍රශ්න රැසක් පැනනැඟුණා. ඒ ගැටලු නිරාකරණය කරන්නට අබ්දුල්ලා මහරුෆ් මැතිතුමා විශාල සහයෝගයක් ලබා දුන්නා. එපමණක් නොව මේ ස්ථානයේ ඉස්ලාමීය ආගමික පූජනීය ස්ථානයක් ඉදිකිරීමට එතුමා ශක්තිය ලබා දුන්නා. එතුමාටත් මගේ ස්තුතිය පුද කර සිටිනවා. තරුණ නායකයකු ලෙස ඉම්රාන් මහරුෆ් මැතිතුමාද නිවාස වැඩසටහන සම්පූර්ණ කර ගැනීමට අපට ශක්තිය ලබා දුන්නා.

මේ ගම්මානයේ සෑම නිවෙසකටම මා වේගයෙන් ඇවිද යනවා ඔබ දකින්නට ඇති. මගේ අමාත්‍යාංශයද අද සේවය කරන්නේ ඒ ආකාරයටයි. නිවාස හා ඉදිකිරීම් අමාත්‍යාංශය දිවා රෑ නොබලා 24 පැයම 365 දවසේම ජනතා සේවයේ නියැළෙනවා. පසුගිය කාලයේ සිටියෙත් මේ නිලධාරීන් කණ්ඩායමමයි. ඔවුන් පුරුදු වී සිටියේ ඉබි ගමනින් ඇවිදින්නටයි. අද අපි හාවන්ටත් වඩා වේගයෙන් ඇවිදිනවා. අපගේ නිලධාරීන්ද මේ වැඩපිළිවෙළට හැඩගැසී තිබෙනවා.

ඉඩමක අයිතියක් නොමැති ජනතාව වෙනුවෙන් ඉඩමක් ලබාදී එහි නිවෙසක් ඉදිකර දී තමන්ගේම කියා නිවෙසක ජීවත් වීමේ අයිතිය ලබාදීමයි මේ උදා ගම්මාන වැඩසටහන දියත් කර තිබෙන්නේ. සේරුවාවිල මැතිවරණ කොට්ඨාසයට සුවිසල් සේවයක් කළ 1977 වසරේ සිට මේ ප්‍රදේශයේ සිටි මන්ත්‍රිවරයකු වූ ලීලාරත්න මැතිතුමා වෙනුවෙන් ගම්මානයක් නම් කරන්න කියා මා යෝජනා කරනවා.

මා හට හිමිවන ඉන්ධන දීමනාව, වැටුප, නිල වාහනය, නිල නිවාසය සියල්ලක්ම මේ රටේ ජනතාවට නිවෙසක් ඉදිකිරීම වෙනුවෙන් කැප කරනවා.

මා සූදානම් වන්නේ තාන්න, මාන්න, පට්ටම්, තනතුරු ලබා ගනිමින් රජ කිරුළ පලඳින්නට නොවෙයි. මේ රටේ නිවාස ගැටලුවෙන් පීඩා විඳින සුවහසක් ජනතාවට 2025 සැමට සෙවණ ලබාදී ලක්ෂ 210ක් වූ මෙරට ජනතාවට ඔටුනු පැලඳවීමට දිවංගත ජනාධිපති රණසිංහ ප්‍රේමදාසයන්ගේ පුත් සජිත් ප්‍රේමදාස සූදානම් බව මා සතුටින් ඔබට ප්‍රකාශ කරනවා.

උපතිස්ස පෙරේරා

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon