ගෝඨාභය අත්අඩංගුවට ගැනීමට එරෙහි සටනට අපි සූදානම්

  👤  4162 readers have read this article !
By mawbima 2018-05-17

හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතාව අත්අඩංගුවට ගැනීමට වත්මන් සම්මුති ආණ්ඩුවේ සූදානමක් තිබෙන බවත් වත්මන් ආණ්ඩුවට අභියෝගයක් වන පුද්ගලයන්ව මර්දනය කිරීමේ කටයුත්තට එරෙහිව දේශපාලනිකව ගත හැකි උපරිම ක්‍රියාමාර්ගවලට අවතීර්ණ වීමට ඒකාබද්ධ විපක්‍ෂය පාර්ලිමේන්තුවේදීත් ඉන් පිටතදීත් සූදානම් බවත් ඒකාබද්ධ විපක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රි ෂෙහාන් සේමසිංහ 'මව්බිම'ට ප්‍රකාශ කළේය.

රටෙහි මීළඟ නායකයා තේරීම සඳහා නායකත්වය ලබා දෙන්නේ සහ එම නායකයා කවුද යන්න පිළිබඳව තීරණය කරන්නේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා බවද සේමසිංහ මන්ත්‍රිවරයා පැවැසුවේය.

ආණ්ඩුව ගෙන යන රටට හා ජනතාවට අහිතකර වැඩපිළිවෙළට එරෙහිව ඉදිරියේදී උද්ඝෝෂණ මාලාවක් සහ රැස්වීම් මාලාවක් ඒකාබද්ධ විපක්‍ෂය සංවිධානය කරන බවද මන්ත්‍රිවරයා කීය.

හෙතෙම මෙසේද පැවැසුවේය.

''අද රටේ හෙට දවස ගැන කිසිම විශ්වාසයක් නැහැ. තෙල් මිල වැඩිවුණා, ජල බිල, විදුලි බිල ඇතුළු අනෙක් දේවලුත් ඉදිරියේදී වැඩි වේවි. නමුත් රටේ ආදායම වැඩිවෙලා නැහැ. ආණ්ඩුව මේ ගැන තැකීමක් කරන්නේ නැහැ. ඔවුන් හිතන්නේ ජනතාව ඔවුන් සමඟයි කියලා. සමෘද්ධිමත්ව තිබුණු රට අද මිහිපිට අපායක් බවට පත් වී අවසානයි.
සිංගප්පූරු ජනතාව අවුරුදු 15කට පස්සේ නැවතත් මහතීර් මොහොමඩ් කෙරෙහි විශ්වාසය තිබ්බා. නමුත් අපේ රටේ ජනතාව වසර 3කට පස්සේ නැවතත් මහින්ද රාජපක්‍ෂ මහත්තයා කෙරෙහි විශ්වාසය තිබ්බා.

මේ ආණ්ඩුවට විරුද්ධව මේ රටේ හැම බලවේගයක්ම අපි ඒකරාශී කරනවා.

ක්‍රිෂාන් පතිරත් ජයසූරිය

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon