පරිගණක සාක්ෂි අධ්‍යයනය සඳහා විත්ති පාර්ශ්වයේ නීතිඥවරුන්ට කල් දෙයි

  👤  3887 readers have read this article !
By mawbima 2018-05-17

කේ.එස්. උදයකුමාර්

රජයේ අමාත්‍යවරයකු ලෙස සේවය කරමින් අයථා ලෙස රුපියල් මිලියන 75කට අධික වත්කම් හා මුදල් උපයා ගත් බවට චෝදනා කරමින් අල්ලස් කොමිසම මඟින් හිටපු අමාත්‍ය සහ ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රි විමල් වීරවංශ මහතාට එරෙහිව ගොනුකර ඇති නඩුවේ පරිගණක සාක්ෂි අධ්‍යයනය කිරීම සඳහා කොළඹ මහාධිකරණය විත්ති පාර්ශ්වයේ නීතිඥවරුන්ට කල් ලබා දෙනු ලැබීය.

මෙම නඩුව ඊයේ (16දා) කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා ඉදිරියේ කැඳවූ අවස්ථාවේ කරුණු දැක්වූ අල්ලස් කොමිසමේ නීතිඥවරිය මෙම නඩුවට සම්බන්ධ පරිගණක සාක්ෂි පරීක්ෂා කිරීමට අදාළ නොතීසිය විත්ති පාර්ශ්වය වෙත දැනටමත් ලබාදී ඇතැයි දැනුම් දුන්නාය. එහෙත් විත්ති පාර්ශ්වය එම පරිගණක සාක්ෂි පරීක්ෂා කිරීමේ කටයුත්ත සම්බන්ධයෙන් මේ දක්වා ප්‍රතිචාරයක් දක්වා නොමැති බවද අධිකරණයට දන්වා සිටියාය.

මෙහිදී විත්තිකාර විමල් වීරවංශ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ජයන්ත වීරසිංහ මහතා කරුණු ඉදිරිපත් කරමින් මෙම සාක්ෂි පරීක්ෂා කිරීම සම්බන්ධයෙන් වැඩිදුරටත් උපදෙස් ලබාගැනීමට අවශ්‍යව ඇතැයි දැනුම් දුන්නේය. ඒ සඳහා කල් ලබාදෙන ලෙසද ජනාධිපති නීතිඥ වීරසිංහ මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

එම කරුණු සලකා බැලූ කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා නඩුව නැවත අගෝස්තු මස 06 වැනිදා කැඳවීමට නියම කළ අතර එදින මෙම කටයුතුවල ප්‍රගතිය වාර්තා කරන ලෙස විත්තියේ නීතිඥවරුන්ට දැන්වීය.

පසුගිය රජයේ අමාත්‍යවරයකු ලෙස කටයුතු කරමින් 2010 වසරේ ජනවාරි මස 01 වැනිදා සිට 2014 වසරේ දෙසැම්බර් මස 31 වැනිදා දක්වා කාල සීමාව තුළ සිය නීත්‍යනුකූල ආදායම ඉක්මවා රුපියල් මිලියන 75කට අධික වත්කම් හා මුදල් උපයා ගැනීම තුළත් අල්ලස් පනත යටතේ දඬුවම් ලැබිය හැකි වරදක් සිදුකළේ යැයි චෝදනා කරමින් අල්ලස් කොමිසම මඟින් විමල් වීරවංශ මන්ත්‍රිවරයාට එරෙහිව මෙම අධි චෝදනා ගොනුකර තිබේ.

මෙම නඩුව සම්බන්ධයෙන් විත්තිකාර විමල් වීරවංශ මහතා කොළඹ මහාධිකරණය මඟින් දැනටමත් ඇප මත මුදාහරිහු ලැබ සිටී.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon