විශේෂඥ වෛද්‍යවරියකගෙන් රුපියල් ලක්ෂ සියයක් සහ කැමරා උපකරණ වංචා කළ බව කියන සිද්ධිය සැකකාර සෆාරි සේවා සපයන්නාට අධිකරණයේ පෙනී සිටින ලෙස නියෝග

  👤  3842 readers have read this article !
By mawbima 2018-05-17

අනුරාධපුර - ආනන්ද කරුණාදාස

විශේෂඥ වෛද්‍යවරියකගෙන් රුපියල් ලක්ෂ සියයක පමණ මුදලක් සහ රුපියල් ලක්ෂ තිස් හතරක් පමණ වටිනා කැමරා උපකරණ වංචා කර එම දේපළ සාවද්‍ය ලෙස පරිහරණය කිරීමේ චෝදනාවක් සම්බන්ධයෙන් විල්පත්තුවේ ජාතික වනෝද්‍යානයට සෆාරි සේවා සපයන්නකුට එරෙහි නඩුව ජුනි 5 වැනි දින යළි කැඳවීමට තඹුත්තේගම මහෙස්ත්‍රාත් රමිලා නදීෂානි මහත්මිය නියෝග කළාය.

මෙම නඩුවට අදාළ නඩු භාණ්ඩ තමන්ට මුදාහරින ලෙස පැමිණිලිකාර විශේෂඥ වෛද්‍යවරිය අධිකරණයෙන් කළ ඉල්ලීම එදිනට සලකා බැලීමට තීරණය කළ මහෙස්ත්‍රාත්වරිය මෙම නඩුවේ සැකකාර සෆාරි සේවා සපයන්නාට එදින අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසටද තවදුරටත් නියෝග කළාය.

සිද්ධියට අදාළ නඩුව නොච්චියාගම සංචාරක මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේ පැමිණිලිකාර විශේෂඥ වෛද්‍යවරිය නීතිඥ සුභාෂණී මේනකා සිරිසේන මහත්මිය මඟින් අධිකරණයෙන් අයැද සිටියේ තමන් සැකකරුට ලබාදී ඇති දැනට නඩු භාණ්ඩ ලෙස නම් කර තිබෙන කැමරා උපකරණ තමන්ට මුදා හරින ලෙසයි.
වවුනියාව මහ රෝහලේ විශේෂඥ වෛද්‍යවරියක නොච්චියාගම පොලිසියට කරන ලද පැමිණිල්ලකට අනුව සැකකරු අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයට පත් කර පසුව ඇප මත මුදා හැරිණි.

සැකකරු වෙනුවෙන් අධිකරණයට කරුණු දක්වමින් නීතිඥ අනුරුද්ධ විජේරත්න මහතා මීට පෙර සඳහන් කළේ සැකකරුට එරෙහිව නොච්චියාගම පොලිසියට පැමිණිල්ලක් කර ඇති විශේෂඥ වෛද්‍යවරිය විදේශ ගමන් බලපත්‍ර දෙකක් භාවිත කරන අයකු බවයි. ඇයට ජාතික හැඳුනුම්පත් දෙකක් ඇති බවද අධිකරණයට අවධාරණය කළ නීතිඥවරයා ඒ බව සනාථ කළ හැකි ලේඛන සහ ඊමේල් කෙටි පණිවුඩ තමන් සතු බවද කීවේය.

පැමිණිලිකාර විශේෂඥ වෛද්‍යවරියගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ශ්‍රී ලාල් තලංගල්ල මහතා අධිකරණයට ප්‍රකශ කළේ සැකකරු පැමිණිලිකාර වෛද්‍යවරියගෙන් රුපියල් ලක්ෂ තිස් හතරක් පමණ වටිනා කැමරා උපකරණ ලබාගෙන ඇති බවයි. ඊට අමතරව පැමිණිලිකාර වෛද්‍යවරිය ඔහුට මුදලින් රුපියල් ලක්ෂ සියයක් අවස්ථා තිස් තුනකදී ලබා දී ඇති බවත් ඒ බව සනාථ කළ හැකි ලේඛන අධිකරණයට ඉදිරිපත් කළ හැකි බවද නීතිඥවරයා කීවේය.

අවම වශයෙන් සැකකරු පැමිණිලිකාර වෛද්‍යවරියගෙන් ලබාගෙන ඇති රුපියල් ලක්ෂ තිස් හතරක් පමණ වටිනා කැමරා උපකරණ හෝ ආපසු ලබා දෙන්නේ නම් මෙම පැමිණිල්ල සමථ කර ගැනීමට හැකියාවක් පවතින බවද නීතිඥවරයා එදින සඳහන් කළේය.

සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ අනුරුද්ධ විජේරත්න මහතා තවදුරටත් අධිකරණයට සඳහන් කෙළේ පැමිණිලිකාර වෛද්‍යවරිය ලබා දුන් බව කියන දේවල් එකින් එක ප්‍රකාශ කළද පැමිණිලිකාර වෛද්‍යවරියට සැකකරු ලබාදුන් දේවල්ද එකිනෙක කිව හැකි බවත් ඒවා මිල කළ නොහැකි ඒවා බවත්ය.

පැමිණිලිකාර වෛද්‍යවරිය සැකකරුට විදේශගත වීමට ඇරැයුම් කර ඇති බවත් සැකකරු එම ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීම නිසාත් වෛද්‍යවරිය ඉල්ලා සිටි ආලය නොදුන්න නිසාත් වෛරී චේතනාවෙන් සැකකරුට එරෙහිව අසත්‍ය චෝදනා නඟන බවත් නීතිඥ විජේරත්න මහතා අධිකරණයට සැල කළේය. සැකකරු වෙනුවෙන් නීතිඥ අනුරුද්ධ විජේරත්න පෙනී සිටියේය.

පැමිණිල්ල වෙනුවෙන් නොච්චියාගම පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එස්.පී. එදිරිසිංහ මහතාගේ උපදෙස් මත කොස්තාපල් බාලසූරිය මහතා පෙනී සිටි අතර පැමිණිකාර විශේෂඥ වෛද්‍යවරියගේ අයිතිවාසිකම් වෙනුවෙන් නීතිඥ සුභාෂණී මේනකා සිරිසේන මහත්මිය පෙනී සිටියාය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon