සංස්කෘතික දෙපාර්තමේන්තුවේ කැබ් රියක් පැහැර ගත් බවට සැක 5 දෙනා යළිත් රිමාන්ඩ් පළමු සැකකරු පෙරෙට්ටුවේදී හඳුනා ගනී

  👤  3899 readers have read this article !
By mawbima 2018-05-17

මාතලේ - හේවා පී. කරුණාරත්න

සංස්කෘතික දෙපාර්තමේන්තුවට අයත් රුපියල් ලක්ෂ 70ක් වටිනා කැබ් රථයක් පැහැර ගත් බවට සැක කොට අධිකරණය හමුවට පමුණුවා රක්ෂිත බන්ධනාගාර ගතකර ඊයේ (16දා) හඳුනා ගැනීමේ පෙරෙට්ටුවකට ඉදිරිපත් කළ පළමුවැනි සැකකරු පැමිණිල්ලේ සාක්ෂිකරුවන් විසින් හඳුනා ගන්නා ලදී.

අරලියගහ මන්දිරයේ පැවැති වෙසක් උත්සවයට පල්ලේපොළ විහාරස්ථානවලින් සැපයූ කෞතුක භාණ්ඩ ආපසු රැගෙන යමින් තිබූ කැබ් රථය රියැදුරු ඇද දමා පැහැරගත් බවට සැකපිට මාතලේ මූලස්ථාන පොලිසියෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් 05 දෙනා අධිකරණය නියෝග මත 16දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කළ අතර සිද්ධියේ පළමු සැකකරු හඳුනා ගැනීමේ පෙරෙට්ටුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම හඳුනා ගැනීම සිදුවිය.

මධ්‍යම පළාත් සංස්කෘතික

අධ්‍යක්ෂවරයා සමඟ මෙම කෞතුක භාණ්ඩ රැගත් කැබ් රථය පල්ලේපොළ ප්‍රදේශයට ඉකුත් 04දා සවස ධාවනය වෙමින් තිබියදී පෞද්ගලික බස් රථයක් කැබ් රථය පසුකර යෑමට තැත් කර ඇත. එම අවස්ථාවේදී පෞද්ගලික බසය කැබ් රථයේ ගැටී තිබේ. කැබ් රථය අනතුරට පත් කළ පෞද්ගලික බසයේ රියැදුරු හා නිලධාරීන් අතර බහින් බස්වීමක් සිදුවිය.

බහින්බස්වීම අතරතුර අනතුර සිදු කළ බසයේ රියැදුරු (පළමු සැකකරු) පැමිණ කැබ් රථයේ රියැදුරු එළියට ඇද දමා සැකකාර මිතුරන් සමඟ කැබ් රථය පැහැරගෙන ගොස් මාතලේ කිරිගල්පොත්ත අසලදී අතහැර දමා තිබියදී සොයාගත් අතර පලා ගොස් සැඟව සිටි සැකකරුවන් පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබිණි. සැකකරුවන් අධික ලෙසට බීමත්ව සිටි බව පොලිසිය පවසයි.

පොදු දේපොළ පනත යටතේ අධිකරණය හමුවට පමුණුවා හඳුනා ගැනීමේ පෙරෙට්ටුවකට ඉදිරිපත් කළ පළමු සැකකරු ඇතුළු සැකකරුවන්ගේ ඇප අයැදුම ප්‍රතික්ෂේප කළ මාතලේ අතිරේක දිසා විනිසුරු මහෙස්ත්‍රාත් එස්.බී.එච්.එම්. සේසිරි හේරත් මහතා සැකකරුවන් 28දා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළේය.

මාතලේ කොට්ඨාස භාර පොලිස් අධිකාරි අයි.බී.ටී. සුගතපාල, සහකාර පොලිස් අධිකාරි ඩී.ඊ.එන්. වැලිසරගේ මාතලේ මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක චානක ද සිල්වා මහතාගේ උපදෙස් මත මාතලේ අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති පොලිස්

පරීක්ෂක සරත් ධර්මකීර්ති මහතා ඇතුළු කණ්ඩායම සිද්ධිය පිළිබඳ පරීක්ෂණ පවත්වා සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබිණි.

හිරන්ත ඉද්දමල්ගොඩ, අජිත් අබේසේකර යන නීතිඥවරුන් විත්තිය වෙනුවෙන් පෙනී සිටියේය. මාතලේ නඩු මෙහෙයුම් ඒකකයේ උප පොලිස් පරීක්ෂක ගයාන් ගුණවර්ධන මහතා පැමිණිල්ල මෙහෙයවීය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon