චෝදනා පදනම් විරහිතයි දිලුම් අමුණුගම

  👤  3912 readers have read this article !
By mawbima 2018-05-17

ඩබ්ලිව්. කේ. ප්‍රසාද් මංජු

අධිකරණ නියෝග කඩකරමින්, උතුරේ කොටි ත්‍රස්තවාදීන් සමරන විට ඊට නිහඬව සිටින ත්‍රස්ත විමර්ශන ඒකකය ජාතික සමඟිය වෙනුවෙන් පෙනී සිටි තමාගෙන් පැය 12කට අධික කාලයක් රඳවාගෙන ප්‍රකාශ ලබාගැනීම කනගාටුවට කරුණක් බව ඒකාබද්ධ විපක්ෂයේ මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි දිලුම් අමුණුගම මහතා "මව්බිම"ට ප්‍රකාශ කළේය.

තමාගෙන් ත්‍රස්ත විමර්ශන ඒකකය පැය 12ක් ප්‍රශ්න කර ඉන් සෑහීමකට පත් නොවූ නිසා තමාගේ ජංගම දුරකථනයද පරීක්ෂණ පැවැත්වීම සඳහා එම ඒකකයේ භාරයට ගත් බවද දිලුම් අමුණුගම මන්ත්‍රිවරයා සඳහන් කරයි.

තෙල්දෙණිය පොලිසියේ රාජකාරි කටයුතුවලට බාධා කිරීම, පොලිසිය තුළ ජාතිවාදය ඇවිස්සෙන ප්‍රකාශ සිදු කිරීම යන චෝදනා දෙක යටතේ තමාගෙන් ප්‍රශ්න කළ බවත් චෝදනා දෙකම පදනම් විරහිත ඒවා බවත් දිලුම් අමුණුගම මන්ත්‍රිවරයා පෙන්වා දෙයි.

දිගන, තෙල්දෙණිය සිද්ධි සමථයකට පත් කිරීම වෙනුවෙන් තමාගෙන් පැය 12ක් ප්‍රශ්න කළා නම් මෙම සිද්ධිය සිදුවී දින ගණනාවක් යනතුරු කොළඹට වී සැඟවී සිටි ආණ්ඩුව නියෝජනය කරන මහනුවර දිස්ත්‍රික්කයේ ඇමැතිවරුන්ගෙන් එම සිද්ධි සමථයකට පත් නොකර සැඟවී සිටීම සම්බන්ධයෙන් ප්‍රශ්න කරන්නේ නැද්ද කියා තමා ත්‍රස්ත විමර්ශන ඒකකයෙන් විමසා සිටි බවද වැඩිදුරටත් අදහස් දැක්වූ දිලුම් අමුණුගම මන්ත්‍රිවරයා කියා සිටියේය.

තමාගේ නිවැරැදි භාවය වෙනුවෙන් සාක්ෂි ලබාදීමට සූදානම් කියා ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක අමාත්‍ය රවුෆ් හකීම් මහතා ප්‍රකාශ කර තිබෙන බවද පාර්ලිමේන්තු මන්ත්‍රි දිලුම් අමුණුගම මහතා වැඩිදුරටත් පැවැසීය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon