'මව්බිම' හෙළිදරව්වෙන් යහපතක් වෙයි ජනපති මැදිහත් වීමෙන් බුදු පිළිමවල බදු ඉවතට

  👤  3960 readers have read this article !
By mawbima 2018-05-17

අනුරාධපුරය -මහේෂ් විජේසූරිය

චීනයේ සිට මෙරටට වැඩම කරවූ රුපියල් කෝටි ගණනක් වටිනා කිරිගරුඬ පිළිම වහන්සේ විසිනමට රජය විසින් පැනවූ රුපියල් ලක්ෂ 32ක බදු මුදල අය නොකරම...රේගු භාරයෙන් නිදහස් කිරීමට 'මව්බිම' පුවත්පත සිදුකළ අනාවරණයෙන් අනතුරුව, පෙරේදා (15දා) ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා මැදිහත්වී කටයුතු කළ බව මිහින්තලා රජමහා විහාරාධිපති භාරකාර ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත පූජ්‍ය වලවාහැංගුණවැවේ ධම්මරතන හිමියෝ පැවැසූහ.

'මව්බිම' පුවත්පත ඇත්ත ඇති සැටියෙන් හෙළි කළ නිසා ජනාධිපතිතුමන් වහාම ඒ පිළිබඳ අවධානය යොමු කිරීම නිසා චීන දූත පිරිස ලංකාවෙන් පිටව යෑමට පෙර අගහිඟකම්වලින් ගහන වෙහෙර විහාරස්ථානවලට බෙදාදීමේ අසිරිමත් උත්සවය පැවැත්වීමට හැකියාව ලැබුණු බව උන්වහන්සේ අවධාරණය කළහ.

වැඩිදුරටත් අදහස් දැක්වූ උන්වහන්සේ 'මට රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුව හා මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශ ලිපි ශීර්ෂය යටතේ වෙළෙඳ හා ආයෝජන ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජනරාල්වරයාට අදාළ අමාත්‍යාංශයේ අධ්‍යක්‍ෂ ජනරාල් කේ.ඒ. විමලේන්තිරරාජ මහතා යොමු අංක ජ්ර්ථී/06/20/20(ඪම) යටතේ නිකුත් කළ ලිපියේ පිටපතක් ලැබුණා.

එහි තුන්වැනි ඡේදයේ තියෙනවා බුද්ධ ප්‍රතිමා වහන්සේ මෙරටට වැඩම කිරීමේදී අය කරනු ලබන එකතු කළ අගය මත බද්ද (වැට්), ජාතිය ගොඩනැඟීමේ බද්ද (එන්.බී.ටී.), වරාය හා ගුවන්තොටුපොළ සංවර්ධන බද්ද (පී.ඒ.එල්.) යන බදු නිදහස් කිරීමට අදාළ බදු පනත්හි දැනට පවතින නීති රෙගුලාසි අනුව නීතිමය ප්‍රතිපාදන නොමැති බව කරුණාවෙන් දන්වමි කියලා.

තීරුබදු ඇරියාහම මම ගෙවන්න ඕනෑ අන්න ඒ බදු මුදල වන රුපියල් 32 ලක්‍ෂය තමයි. මේවා නිදහස් කරලා දෙන්න කියලයි මේ රජයේ අග්‍රාමාත්‍යතුමා ඇතුළු රජයේ ප්‍රබලයන්ගෙන් ඉල්ලුවේ. නමුත් සති දෙකක් තිස්සේ ඒ ඉල්ලීමට ප්‍රතිචාර නොලැබුණ නිසයි 'මව්බිම' ට විස්තර කිව්වේ.

පස්සේ මට එක දිගට ස්වාධීන රූපවාහිනිය මාධ්‍ය නිවේදන නිකුත් කරමින් මඩ ගැහුවා මම මුදල් එකතු කරන්න රටට බොරු කියනවා කියලා. මම බුද්ධ පුත්‍රයකු හැටියට බොරු කියන්නේ නෑ. ඇත්ත තමයි කිව්වේ. දැන් බලාගන්න පුළුවන් කවදද, මේ පිළිම නිදහස් කළේ, කාගේ නියෝගයෙන්ද නිදහස් වුණේ කියලා.

ලසන්ත අලගියවන්න ඇමැතිතුමා මේකට ගොඩක් මැදිහත් වුණා. කරු ජයසූරිය කථානායකතුමා, සජිත් ප්‍රේමදාස මැතිතුමා වගේම ගාමිණී ජයවික්‍රම පෙරේරා මැතිතුමත් මේ සිද්ධියට සම්බන්ධ වුණා. අද (17දා) දිනයේ බුද්ධ ප්‍රතිමා වහන්සේ බෙදාදීම 200 නමක් විෂයයෙහි දානය පූජා කිරීමෙන් අනතුරුව සිදු කරනවා.

බුදු දහමේ චිරස්ථිතිය වෙනුවෙන් කතා කර සත්‍ය පෙන්වා දී ජනාධිපතිතුමන් අවදි කළ 'මව්බිම' පුවත්පතට, කාර්ය මණ්ඩලයට හා සමස්ත බෞද්ධ ජනතාවට මාගේ ගෞරවනීය ස්තුතිය හා පුණ්‍යානුමෝදනාව පුද කරනවා. මා සටන් කළේ, හඬ නැඟුවේ බුදු දහම වෙනුවෙන් මිසක් පටු අරමුණු හා මුදල් තණ්හාවෙන් නොවෙයි.

ඒ වගේම බෞද්ධ නායකයකු වන ජනාධිපතිතුමාටත්, ත්‍රිවිධ රත්නයේ ආශීර්වාදයෙන් රාජ්‍ය පාලන කටයුතු සිදුකරගෙන යෑමට අවශ්‍ය ශක්තිය ධෛර්ය ලැබේවායි කියලා ප්‍රාර්ථනා කරනවා යැයි උන්වහන්සේ වැඩිදුරටත් පැවැසූහ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon