නකල්ස් රක්ෂිතයට මායිම්ව ඇති වතු ඉඩම් සංවර්ධන ව්‍යාපෘතිවලට ලබා දෙන්න එපා

  👤  4122 readers have read this article !
By mawbima 2018-05-21

ආරියරත්න ගනේගොඩ

දුම්බර මිටියාවතේ අක්කර 21,000ක් පමණ නකල්ස් රක්ෂිතයට මායිම්ව පිහිටි රාජ්‍ය වැවිලි සංස්ථාවට අයත් ඇල්කඩුව වතු සමාගමේ මට අයත් වතු ඉඩම් විවිධ සංවර්ධන ව්‍යාපෘති සඳහා ලබාදීමට රජය පිඹුරුපත් සකස් කරමින් සිටින බව දේශීය වනාන්තර සුරැකීමේ සංවිධානය පවසයි.

එම සංවිධානයේ සභාපති අනික් නසීර් මහතා විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක් මඟින් මේ තොරතුරු අනාවරණය කර තිබේ. නකල්ස් රක්ෂිත මායිමේ පිහිටි රාජ්‍ය වැවිලි සංස්ථාවට අයත් ඕපල්ගල, රංගල, අලකොළේ, ගල්පිහිල්ල, කොටගල, හග්ගල්ල, ගෝමරේ, හෙයාර් පාර්ක්, හුන්නස්ගිරිය, කැලෑබොක්ක, මැදවත්ත සහ නිකොළය වතු ඉඩම් සහ ඇල්කඩුව වතු සමාගමට අයත් බණ්ඩාරපොළ, හුණුගල, ඇල්කඩුව, පිටකන්ද, රත්වත්ත, සැගලම, සපුගස්පිටිය හා මිල්ලවාන යන වතු ඉඩම් මෙලෙස සංවර්ධන ව්‍යාපෘති සඳහා නිදහස් කිරීමට සූදානම් කර තිබෙන බවද දේශීය වනාන්තර සුරැකීමේ සංගමය සඳහන් කරයි.

නකල්ස් රක්ෂිතයේ ලෝක සංරක්ෂණ සංවිධානය මඟින් සිදුකරන ලද පර්යේෂණයකට අනුව මෙහි කුල 141කට අයත් පුෂ්ප ශාක විශේෂ 1033ක් හඳුනාගෙන ඇති බවත් එයින් ශාක 160ක් ලංකාවට ආවේණික බවට හඳුනා ගෙන ඇති බවත් එම සංවිධානය පෙන්වා දෙයි.

දුම්බර අඩවියට පමණක් ආවේණික වූ ශාක වර්ග හයක් නකල්ස් රක්ෂිතයේ දක්නට ලැබෙන බවත් මෙහි මීවන ශාක 42ක් හඳුනාගෙන ඇති අතර ඉන් හයක් ලංකාවට ආවේණික ශාක බවත් පෙන්වා දෙන දේශීය වනාන්තර සුරැකීමේ සංගමය නකල්ස් රක්ෂිතයෙන් වාර්තා වන පක්ෂි විශේෂ අතරින් විශේෂ 16ක් ජීවත් වනුයේ ලෝකයෙන්ම නකල්ස් රක්ෂිතයේ පමණක් බවද පෙන්වා දෙයි.

මේ අතර උරග විශේෂ 5ක්, උභයජීවී විශේෂ 8ක්, මත්ස්‍ය විශේෂ 3ක් වෙයි. ලංකාවට ආවේණික පක්ෂි විශේෂ 33කින් 30ක්ම ජීවත් වනුයේ නකල්ස් රක්ෂිතයේ වීම විශේෂත්වයක් බවද දේශීය වනාන්තර සුරැකීමේ සංගමය සඳහන් කරයි.

නකල්ස් රක්ෂිතය මහවැලි ගඟේ ප්‍රධානතම ජල පෝෂක ප්‍රදේශයද වෙයි. අනාගත පරපුරේ උරුමයක් වන නකල්ස් රක්ෂිතයට මායිම්ව පිහිටි මිල කළ නොහැති වතු ඉඩම් සංවර්ධන ව්‍යාපෘති සඳහා නිදහස් නොකරන ලෙස මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බවද දේශීය වනාන්තර සුරැකීමේ සංවිධානයේ සභාපති අනික් නසීර් මහතා සිය නිවේදනයේ සඳහන් කර ඇත.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon