එප්පාවලින් පොස්පේට් පොහොර හදන්න රජයේ අවධානය

  👤  3982 readers have read this article !
By mawbima 2018-05-21

ත්‍යාගා ශ්‍රී මාලි බණ්ඩාර

එප්පාවල පොස්පේට් නිධියෙන් පොස්පේට් පොහොර

නිෂ්පාදනය කිරීම සඳහා මේ වන විට රජයේ අවධානය යොමුවී තිබේ.

දැනට ලෝකයේ තිබෙන හොඳම පොස්පේට් අතර කැඩ්මියම් අවම පොස්පේට් විශේෂය එප්පාවල පොස්පේට් නිධිය තුළ පවතින බව එප්පාවල පොස්පේට් ව්‍යාපෘතිය පිළිබඳව කරුණු විමසීමේදී අනාවරණය වී තිබේ.

ඒ අනුව මේ පොස්පේට්වල දියවීමේ හැකියාව වැඩිකිරීම සඳහා වන ක්‍රියාවලියට රුපියල් මිලියන 9000ක මුදලක් අවශ්‍ය බවත් එයට රජයේ මැදිහත්වීමක් සිදුකරයි නම් රටට අවශ්‍ය සමස්ත පොස්පේට් පොහොර ප්‍රමාණය එප්පාවල පොස්පේට් නිධිය මඟින් නිපදවිය හැකි බවත් කෘෂිකර්ම අමාත්‍යාංශයේ නිලධාරීන් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා වෙත දැනුම් දී තිබේ.

අමාත්‍යාංශ නිලධාරීන් හා අමාත්‍යවරයා අතර පසුගියදා පැවැති හමුවේදී මේ බව දැනුම් දී තිබෙන අතර ඊට අවධානය යොමු කරමින් ඒ සඳහා විධිමත් ශක්‍යතා අධ්‍යයනයක් වහාම සිදුකිරීමට සාමාජිකයන් 8කගෙන් සමන්විත විද්වත් කමිටුවක් පත් කිරීමට අමාත්‍යවරයා පියවර ගෙන තිබේ.

එම විද්වත් කමිටුවේ සභාපති ලෙස කෘෂිකර්ම රාජ්‍ය ලේකම් ඩී.වී. බන්දුලසේන මහතා කටයුතු කරන අතර ආචාර්ය ඩබ්.එම්.ඩබ්. වීරකෝන්, ඩබ්.එම්.එම්. බී. වීරසේකර, එන්.එල්.ජී. චන්ද්‍රසිරි, ආචාර්ය ජේරි ජයවර්ධන, ආචාර්ය ජේ.ඩී. එච්. විජේවර්ධන, ඩබ්.ආර්.යූ.ඩී. බණ්ඩාර, ප්‍රභාත් විතාරණ යන මහත්වරුන් එම කමිටුවේ සෙසු සාමාජිකයෝ වෙති.
මේ වන විට පොහොර මිලදී ගැනීමට රු. මිලියන 35,000කට වැඩි ප්‍රමාණයක් විදේශ රටවලට ඇදී යන බැවින් රුපියල් මිලියන 9,000ක් දේශීය පොහොර නිෂ්පාදනය කිරීමට යෙදීම කිසිසේත්ම අසාධාරණ නොවන බවටත් එම ව්‍යාපෘතිය ලබන වසරේදී ආරම්භ කිරීමට පියවර ගන්නා බවත් මෙහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon