කෘෂි ඇමැති මල්වතු-අස්ගිරි නාහිමිවරුන් හමුවෙයි

  👤  3975 readers have read this article !
By mawbima 2018-05-21

මහනුවර - නදීක දයා බණ්ඩාර

අමාත්‍ය ධුර වෙනස්වීම් සිදුවීම නිසා ජනතාවට අඛණ්ඩ සේවයක් සිදුකිරීමට අමාත්‍යවරුන්ට හැකියාවක් ලැබී නැතැයි මල්වතු පාර්ශ්වයේ මහ නායක තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල හිමියෝ ප්‍රකාශ කරති.

විවිධ අවස්ථාවලදී අමාත්‍ය ධුර වෙනස් වන නමුත් කෘෂිකර්ම අමාත්‍ය ධුරය සඳහා මෙවර සුදුස්සෙක් පත්වී ඇතැයි අමාත්‍ය මහින්ද අමරවීර මහතා හමුවේ මහ නායක හිමියෝ ප්‍රකාශ කළහ.

මෙවර අමාත්‍ය ධුර සංශෝධනයේදී කෘෂිකර්ම අමාත්‍ය ධුරය හිමිවූ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් අමාත්‍ය මහින්ද අමරවීර මහතා ඊයේ (20දා) පෙරවරුවේ මහනුවර ශ්‍රී දළදා මාලිගාවේදී දන්තධාතූන් වහන්සේ වැඳපුදා ගත්තේය.

අනතුරුව ඒ මහතා මල්වතු මහ විහාරයේදී මල්වතු පාර්ශ්වයේ මහ නායක තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල හිමියන්ද අස්ගිරි මහ විහාරයේදී එම පාර්ශ්වයේ මහ නායක වරකාගොඩ ඥානරතන හිමියන්ද බැහැදැක ආශීර්වාද ලබා ගත්තේය.

සමහර දුර්වලකම් හේතුවෙන් අමාත්‍යවරුන්ද මාරුවීමට සිදුවන බව කී මල්වතු පාර්ශ්වයේ මහ නායක හිමියන් මහින්ද අමරවීර මහතා දැරූ ධීවර අමාත්‍ය ධුරයට වඩා කෘෂිකර්ම අමාත්‍ය ධුරය ගැළපෙන බව ප්‍රකාශ කළේය. දේශීයව වගා කළ හැකි බෝග විදේශවලින් ගෙන්වීම සීමා කළ යුතු යැයි කී මහ නායක හිමියෝ පසුගිය කාලයේ කෙසෙල් පවා මෙරටට ගෙන්වා ඇති බව කීහ. නව අමාත්‍ය ධුරය තුළින් මහජනයාට ප්‍රමාණවත් සේවයක් ඉටු කිරීමේ හැකියාව පවතින බවද මල්වතු පාර්ශ්වයේ මහ නායක හිමියෝ සඳහන් කළහ.

අනතුරුව අස්ගිරි මහ විහාරයට ගිය අමාත්‍යවරයා එම පාර්ශ්වයේ මහ නායක හිමියන්ද බැහැදැක සිය ඉදිරි වැඩපිළිවෙළ දැනුම් දුන්නේය.

ශ්‍රී ලංකා කෘෂි ක්‍ෂේත්‍රය ස්වයංපෝෂිත කළ හැකි නමුත් කුඹුරු විශාල ප්‍රමාණයක් මේ වනවිට පුරන් වී ඇතැයි උන්වහන්සේ කීහ. දේශීයව වගා කළ හැකි බෝග මෙරට වගා කිරීම පිළිබඳවද උන්වහන්සේ අමාත්‍යවරයාගේ අවධානයට යොමු කළහ.

වස විසෙන් තොර ආහාර වගාව ප්‍රචලිත කරන බවත් ඒ අනුව ගෙවතු වගාවක් වශයෙන් කොස්, මුරුංගා, කතුරු මුරුංගා, කෙසෙල් වැනි පැළ පවුල් සඳහා ලබාදීමට අපේක්‍ෂා කරන බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා අස්ගිරි මහ නාහිමි හමුවේ කීවේය.

පසුගිය දෙවසරක ඇතිවූ නියං තත්ත්වය හේතුවෙන් ආහාර නිෂ්පාදනය සියයට 30කින් පහළ ගිය බව කී අමාත්‍යවරයා නියං ආධාර වශයෙන් පමණක් රුපියල් මිලියන 38,000ක මුදලක් ගොවියන්ට ලබාදුන් බව කීවේය. නියඟය හේතුවෙන් බොහෝ ආහාර වර්ග ආනයනය කිරීමට සිදුවූ බව කී අමාත්‍යවරයා අස්ගිරි මහ නායක හිමියන් හමුවේ මෙසේ ප්‍රකාශ කළේය.

විශාල වශයෙන් සහල් ආනයනය කිරීමට අපට සිදුවුණා. මේ නිසා සහල් ආනයන බද්ද ශත 25 දක්වා අඩු කිරීමට සිදුවුණා. නමුත් මේ වනවිට දේශීය ආහාර නිෂ්පාදනය ඉහළ ගිය නිසා සහල් ආනයන බද්ද 75% දක්වා ඉහළ නංවා තිබෙනවා. නමුත් මහා පරිමාණ මෝල් හිමියන් සහල් සඟවන්නේ නම් යළි බදු අඩු කර සහල් ආනයනය කිරීමට සිදුවෙනවා. අපි වැඩි වශයෙන් ගොවියා සහ පාරිභෝගිකයා පිළිබඳ අවධානය යොමු කරනවා.

කෘෂි නිෂ්පාදන ඉහළ නැංවීම සඳහා මෙම වර්ෂයේදී කුඩා පරිමාණ වැව් දහසක් ප්‍රතිසංස්කරණය කිරීමටද රජයේ අවධානය යොමු වුණා. වර්ෂ 2020 වන විට සියලුම වැව් ප්‍රතිසංස්කරණය කළ යුතු යැයි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා උපදෙස් දුන් බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කළේය.

මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක, පළාත් කර්මාන්ත හා ක්‍රීඩා අමාත්‍ය තිළිණ බණ්ඩාර තෙන්නකෝන්, බස්නාහිර පළාත් කෘෂිකර්ම අමාත්‍ය ගාමිණී තිලකසිරි, දකුණු පළාත් කෘෂිකර්ම අමාත්‍ය නීතිඥ යූ.ජී.ඩී. ආරියතිලක යන මහත්වරු ඇතුළු පිරිසක් මේ අවස්ථාව සඳහා එක්වීය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon