මේ ආණ්ඩුවේ තවදුරටත් රැඳී සිටියොත් ශ්‍රීලනිපය විනාශ වෙයි කියලා නායකතුමා කිව්වා

  👤  4018 readers have read this article !
By mawbima 2018-05-21

හර්ෂනී අර්සකුලරත්න

මේ රටේ සියලු ප්‍රගතිශීලී බලවේග සමඟ එක්වී ආණ්ඩුව පෙරළා දමන බව පාර්ලිමේන්තු මන්ත්‍රි ලක්ෂ්මන් යාපා අබේවර්ධන පවසයි.

හෙතෙම මේ අදහස් පළකළේ පසුගිය 18දා නිදහසේ මාධ්‍ය කේන්ද්‍රයේ සංවිධානය කර තිබූ ජාතික ආණ්ඩුවෙන් ඉවත්වූ මන්ත්‍රිවරු දහසය දෙනාගේ කණ්ඩායම නිල වශයෙන් පැවැත්වූ ප්‍රථම මාධ්‍ය හමුව අමතමිනි.

එහිදී අදහස් දක්වමින් මන්ත්‍රිවරයා මෙසේද පැවැසීය.

අපි වමේ දේශපාලන නායකයන් ඇතුළු සියලු දේශපාලන නායකයන් හමුවී ඔවුන්ගේ අදහස් ලබාගැනීම සිදුකරනවා. කාගෙවත් අතකොළු වී හෝ කොන්ත්‍රාත්කරුවන් නොවී ආණ්ඩුව බිඳ දමා ජනතාවාදී ආණ්ඩුවක් පිහිටුවීම දක්වා ගමන් කරන ව්‍යාපාරයක් ගෙනයෑමයි අපේ අරමුණ.

අපි කනගාටු වෙනවා ඇතැම් දේශපාලනඥයන් රණවිරුවන්වත් ත්‍රස්තවාදීන්වත් සමාන කර සැලකීම පිළිබඳ. රණවිරුවන් කියන්නේ මේ රටේ ආරක්ෂාව වෙනුවෙන් නිදහස වෙනුවෙන් සටන් කළ පිරිස. ත්‍රස්තවාදීන්ගේ මූලික බලාපොරොත්තුව බෙදුම්වාදයයි. බෙදුම්වාදය සඳහා ක්‍රියා කළ ත්‍රස්තවාදීන් මිනිස් ජීවිත ආරක්ෂා කිරීම සඳහා ජාති භේදයෙන් තොරව සටන් කළ රණවිරුවන් එක හා සමානව සමරන්න මේ රටේ කිසිසේත්ම ඉඩක් තියෙන්න බැහැ.

ජනාධිපතිතුමා පක්ෂයේ නායකයා ලෙස පසුගිය ශ්‍රී ලනිප මධ්‍යම කාරක සභාවේදී කියා සිටියේ මේ ආණ්ඩුව තුළ හිටියොත් ශ්‍රී ලනිපය විනාශ වෙලා යන බවයි. ඒ නිසා ඉතුරු පිරිසටත් ආණ්ඩුවෙන් ඉවත්වීමට දින වකවානු ලැහැස්ති කරගන්න කියලා එතුමා අවධාරණය කළා.

ඒ නිසා අපි අනිත් අයටත් කියන්නෙ ආණ්ඩුවෙන් එළියට එන්න කියලා.

මෙහිදී අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රි දයාසිරි ජයසේකර
අපි නම් කියන්නෙ වහාම ශ්‍රී ලනිපය ආණ්ඩුවෙන් එළියට ආ යුතුයි. ආණ්ඩුවත් එක්ක පිරිසක් ඉන්නවා නම් ඒ පිරිසට ඉන්න ඉඩදිය යුතුයි කියලයි.

රාජිත ඇමැතිවරයා කළ ප්‍රකාශය අපි පිළිකුලෙන් යුතුව හෙළා දකිනවා. හේතුව උතුරේ එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීන් සැමරීමයි, දකුණේ ජ.වි.පෙ. ඉල්මහා විරු සැමරුමයි පටලවාගෙන තිබීම ගැන අප කනගාටු වෙනවා වගේම කැබිනට් මාධ්‍ය ප්‍රකාශකවරයාට කනගාටුව ප්‍රකාශ කරනවා. ඒ වගේම අපේ ආදරණීය රණවිරුවන් මේ විදියට පාවා දීමට ඔවුන්ට හැකිදැයි කියන එකත් ප්‍රශ්නයක්.

සිංගප්පූරු ගිවිසුම පිළිබඳ ඇතිවෙලා තියෙන ප්‍රශ්නයක් මේක. පාර්ලිමේන්තුවට ගෙනල්ලා කරන්න ඕන කාර්යභාරයක්. එහෙත් මලික් සමරවික්‍රම ඇමැතිතුමා ගිහින් මේක අස්සන් කිරීම හරහා වෘත්තිකයන්ගේ විශාල අර්බුදයක් බවට පත්වෙලා තියෙනවා. මේක කරන්න කලින් විශාල වෘත්තිකයන් පිරිසක් මේකට එරෙහි වුණා. මේ ගැන ඔවුන් හා සාකච්ඡා කරන්න කියලා ඉල්ලුවා. කිසිම සාකච්ඡාවක් නැතිව ගත්ත පියවරේ ප්‍රතිඵල අද අත්විඳිමින් ඉන්නවා. මේ විදියට එට්කා ගිවිසුමත් අස්සන් කිරීමේ හොර වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වෙමින් තියෙනවා.

අපට අපේ පක්ෂය වටිනවා. පළමුවැනියට පක්ෂය ආරක්ෂා කරගත යුතුයි. පක්ෂය දියුණු කරගත යුතුයි. පක්ෂයත් සමඟ පුළුල් බලවේග එකට එකතු කරගත්ත පුළුල් වාමවාදී, ප්‍රගතිශීලී දැවැන්ත ජාතික ව්‍යාපාරයක් සඳහායි අපි සියලු දෙනා එකතු වී ඇත්තේ.
මෙහිදී අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රි සුසිල් ප්‍රේමජයන්ත්

රාජිත ඇමැතිවරයා සිදුකළ ප්‍රකාශය අපි දකින්නේ රටටත් රණවිරුවන්ටත් කරපු ඉතාම අසාධාරණ ප්‍රකාශයක් ලෙසයි. ජාත්‍යන්තරයේ මේ කරුණු සාකච්ඡා වෙමින් පවතින තත්ත්වයක් තියෙන්නේ. ඒ වගේම ශ්‍රී ලංකා සිංගප්පූරු නිදහස් වෙළෙඳ ගිවිසුම පිළිබඳ අප පැහැදිලිවම ප්‍රකාශයක් ඉදිරිපත් කළ යුතුයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon