විසිපස් වසරක් කරාපිටිය රෝහලේ දිවි ගෙවූ විමලසේන වැඩිහිටි නිවෙසකට

  👤  4122 readers have read this article !
By mawbima 2018-05-21

අළුත්ගම - කේ.ඩී. පවුලීස්, බේරුවල - ඩී.එම්. ගුණසේන

විසිපස් වසරක් තිස්සේ ගාල්ලේ - කරාපිටිය ශික්ෂණ රෝහලේ දිවි ගෙවූ එන්.එන්. විමලසේන (78) මහතා පසුගිය 18දා කරාපිටිය ශික්ෂණ රෝහලේ සිට බෙන්තර - සුද්දගොඩ සුගත වැඩිහිටි නිවාසය වෙත රැගෙන විත් භාරදී ඇත.

රෝහලේ ගිලන් රථයකින් විමලසේන මහතා වැඩිහිටි නිවාසයට රැගෙන ආ බව වැඩිහිටි නිවාසයේ පාලිකාවන් මාධ්‍යට පවසා සිටියාය.

තමන්ගේ භාර්යාව, දරුවන්, ඥාතීන් පිළිබඳව කිසිදු සඳහනක් කිරීමට මොහුට හැකියාවක් නැත. හරි හැටි කතා කිරීමට නොහැකි අතර වසර 25ක් තිස්සේ විමලසේන මහතා පිළිබඳව කිසිදු ඥාතියෙක් සොයා බැලීමක් සිදුකර නොමැති අතර ඉදිරි වකවානුව තුළ මොහු පිළිබඳව සොයා බැලීමක් සිදු කරනු ඇතැයිද විශ්වාස කළ නොහැක.

ගාල්ල - කරාපිටිය ශික්ෂණ රෝහලේ 5 වැනි වාටුවේ කාර්ය මණ්ඩලයේ ආදරය, සෙනෙහස හේතුවෙන් වසර 25ක් රැඳී සිට ඇති අතර රෝහලෙන් වැඩිහිටි නිවාසයට ඒමට සූදානම් වූ අවස්ථාවේ කඳුළු පිරි දෙනෙතින් රෝහල් වාට්ටුවේ කාර්ය මණ්ඩලයට සමුදුන් අවස්ථාව හැඟුම්බර දසුනක් විය.

බෙන්තර - සුද්දගොඩ සුගත වැඩිහිටි නිවාසයට පෙරේදා (19දා) ගිය අවස්ථාවේ වැඩිහිටි නිවාසයේ අනෙකුත් නේවාසිකයන් සමඟ ඇඳක වාඩිලා සිටියේ, වසර 25ක් තමන් සිටි රෝහලේ කාර්ය මණ්ඩලයේ ආගන්තුක සත්කාරය කෙසේ තමා අමතක කරම්දැයි සිතමිනි.

බෙන්තර - සුද්දගොඩ පිහිටි මෙම සුගත වැටිහිටි නිවාසය නේවාසිකයන් 78ක් පමණ ගැහැනු/ පිරිමි වශයෙන් සිටින පුණ්‍ය ආයතනයකි. මෙහි නිර්මාතෘ සහ සභාපති සිරිල් රාජපක්ෂ මහතාය.

කාන්තා පාලිකාවක් සඳහන් කළ හැටියට 2000 වසරේ ආරම්භ කළ මෙම සුගත වැඩිහිටි නිවාසය 5 දෙනකුගෙන් ආරම්භ වුණත් දැන් පිරී ඉතිරී යන තරමට වැඩිහිටි නේවාසික පිරිසක් මෙහි සිටින බව සඳහන් කළ අතර එක් වැඩිහිටි අයෙක් සඳහා රජයෙන් ලැබෙන්නේ රු. 20ක් බවත් එම මුදල ප්‍රමාණවත් නොමැති බවත් පරිත්‍යාශීලී පින්වතුන්ගේ ආධාරය ලබා දෙන්නේ නම් සතුටින් භාර ගන්නා බවත් ඇය සඳහන් කළාය.
ඒ සඳහා පහත දුරකථන අංකයන්ගෙන් වැඩි විස්තර ලබා ගත හැකි බවත් ඇය සඳහන් කළාය.

0344913457 - 0714698358

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon