රණවිරුවන්ගෙන් පළිගැනීම අශීලාචාර පාවාදීමක්

  👤  4041 readers have read this article !
By mawbima 2018-05-21

උදාර මානුෂික සද්කාර්යයක යෙදුණු, රණවිරුවන්, මිනිස් සංහාරයක යෙදුණු අය ලෙස ත්‍රස්තවාදයට අනුකම්පා කරන්නන් ප්‍රකාශ කරන බවත්, ජනතාවගේ ඡන්දයෙන් පත් වූ රජයද එය සංහාරයක් ලෙස පිළිගැනීම මේ යුගයේ සිදුවූ අශීලාචාරම පාවාදීම බවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසයි.


ලක්වාසී ජනතාවට මරණ බයෙන් තොරව ජීවත්වීමට නිදහස ලබාදුන් රණවිරුවන් අප ඉතා ගෞරවයෙන් සහ අභිමානයෙන් සිහිපත් කළ යුතු අතර ඔවුන්ගෙන් පළිගැනීමට දරන උත්සාහය පරාජය කිරීමට පෙළ ගැසිය යුතු බවත් හෙතෙම අවධාරණය කරයි.


මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමින් හිටපු ජනාධිපතිවරයා මේ බව සඳහන් කරයි. මහින්ද රාජපක්ෂ මහතාගේ නිවේදනයේ වැඩිදුරටත් මෙසේද දැක්වේ.
"ලෝකයේ දරුණුතම ත්‍රස්තවාදීන්ගේ ග්‍රහණයෙන් අපේ මාතෘ භූමිය නිදහස් කරගෙන මේ වනවිට වසර නවයක් වෙනවා. එබඳු විජයග්‍රහණයක් රටකට ලැබිය හැක්කේ ඉතාමත්ම කලාතුරකින්. 2005 වසරේදී මම මුල්වරට ජනාධිපති ධුරයට පත් වෙනකොට, එවකට පැවැති ආණ්ඩුව රුදුරු කොටි සංවිධානයේ බලපෑමට යටත්ව සටන් විරාම ගිවිසුමක් ඇති කරගෙන අපගේ ප්‍රශ්නයට ජාත්‍යන්තරයද අෑ¼දාගෙන තිබුණා. අපේ වෙරළෙන් තුනෙන් දෙකක් හා භූමියෙන් තුනෙන් එකක් පමණ ප්‍රදේශයක් පාලනය කෙරුණේ ත්‍රස්තවාදීන්ගේ ග්‍රහණය යටතේයි.


ලෝකයේ ඉතාම දියුණු නාවික බලයක් හා ගුවන් බලයක් සහිත ත්‍රස්තවාදී සංවිධානයට එරෙහිව අපි නැඟී සිටියේ ලොව කවර රාජ්‍යයකටවත් නොතිබුණු තරමේ අප්‍රතිහත ධෛර්යකින්. මරණ බයෙන් නිදහස් වීමේ ඒ සටනට මුළු මහත් ජාතියම එක්සත්ව එක්සිත්ව නැඟී සිටියේ දැඩි අධිෂ්ඨානයකින්. එම සටනේදී ත්‍රිවිධ හමුදාවේ පොලිසියේ සහ සිවිල් ආරක්ෂක බළකායේ රණවිරුවන් දහස් ගණනක් දිවිපිදූ බව අපි සිහිපත් කළ යුතුයි. තවත් දහස් ගණනක් ආබාධිත තත්ත්වයට පත්වුණා. උතුරු පළාතටත්, නැඟෙනහිර පළාතටත් ප්‍රජාතන්ත්‍රවාදය ලැබුණේ ත්‍රස්තවාදයේ අවසානයත් සමඟයි. ත්‍රස්තවාදීන් මහ පොළොවේ වැළලූ සිය දහස් ගණන් බිම් බෝම්බ ඉවත් කර ජනතාවට පොළොවේ පය ගැසීමට ඉඩ ලැබුණේ ඊට පසුවය. මහා මාර්ග, රෝහල්, පාසල් පමණක් නෙවෙයි මරණ බයෙන් තොරව නිදහසේ උතුරටත් දකුණටත් හුස්ම ගන්න පුළුවන් වුණේ ඊට පස්සේ.


රටක ජනතාවකට නිදහසත්, ජීවත් වීමේ අයිතියත්, ලබාදීමට සිය ජීවිතය පිදූ, ඇස් ඉස්මස් ලේ පිදූ ඊට කැපවූ සියල්ලන්ම උදාර මිනිසුන්. ඒත් අද එබඳු උදාර මානුෂික සද්කාර්යයක යෙදුණු විරුවන් මිනිස් සංහාරයක යෙදූ අය ලෙස ත්‍රස්තවාදයට අනුකම්පා කරන්නන් ප්‍රකාශ කරනවා.


ජනතාවගේ ඡන්දයෙන් පත් වූ රජයද එය සංහාරයක් ලෙස පිළිගැනීම මේ යුගයේ සිදුවුණු අශීලාචාරම පාවාදීමක්. රටට ද්‍රෝහී ප්‍රකාශ කරන, රණවිරුවන් පාවාදෙන අය තේරුම් ගත යුතුයි දෙමළ ජනතාවත් අද නිදහසේ බියෙන් සැකෙන් තොරව උතුරේ ජීවත් වන්නේත්, දෙමළ තරුණ තරුණියන්ට යුද්ධය නොව සාමය ලැබී ඇත්තේත් අපේ විරුවන් කළ කැප කිරීම නිසා බව.


යුද්ධයට බිලි දීමට තමන්ගේ දරුවන් කොටි සංවිධානය විසින් බලහත්කාරයෙන් පැහැරගෙන නොයන නිසා අද උතුරේ මවුවරුන්ට තියෙන්නේ මහත් අස්වැසිල්ලක්.
එනිසා ලක්වාසී ජනතාවට මරණ බයෙන් තොරව ජීවත් වීමට නිදහස ලබාදුන් රණවිරුවන් අපි ඉතාමත් ගෞරවයෙන්, අභිමානයෙන් යුතුව සිහිපත් කළ යුතුයි. ඔවුන්ව දඩයම් කිරීමටත්, ඔවුන්ගෙන් පළිගැනීමටත් දරන උත්සාහය පරාජය කිරීමට අපි පෙළ ගැසිය යුතුයි. මවුබිමේ එක්සත් භාවයත්, නිදහසත් රැක ගැනීමට අපි සියලු දෙනාම යළිත් නැඟී සිටිය යුතුයි."

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon