ඊළඟ ජනාධිපතිවරණයට තරග කරන්න මෛත්‍රී මහත්තයා තීන්දුවකට ඇවිත් ඉන්නේ

  👤  1921 readers have read this article !
By mawbima 2018-05-21

තාවකාලික නිලධාරි මණ්ඩලයක් පත් කර ගැනීමට ශ්‍රී ලනිප මධ්‍යම කාරක සභාව තීරණය කළේ ඇයි?


දැනට ඉන්නේ මීට වසර තුනහමාරකට විතර පෙර පත්කළ නිලධාරි මණ්ඩලයක්. 2015 ජනවාරි 08 වැනිදා ඇති වුණු දේශපාලන පෙරළියෙන් පසුව ශ්‍රීලනිපය තුළ යම් අර්බුදකාරී තත්ත්වයක් ඇති වුණු බව මුළු රටම දන්නා කාරණයක්. එතැනදී ශ්‍රීලනිපයේ නිලධාරි මණ්ඩලයේ කීපදෙනකුත් අපේ පක්ෂයෙන් ඉවත්ව ගිහින් වෙනත් දේශපාලන පක්ෂයක සාමාජිකත්වය සහ යම් තනතුරු භාර අරගෙන තිබෙනවා. මෙවැනි තත්ත්වයක් උඩ පක්ෂයට සිදු වෙනවා ඉතාම ඉක්මනින්ම ඒ සිදුවුණු වෙනස්වීම සඳහා අවශ්‍ය ප්‍රතිකර්ම කරන්න. ඒ සඳහායි පක්ෂයේ සමස්ත ලංකා කාරක සභාව හා විධායක සභාව කැඳවා තාවකාලික නිලධාරි මණ්ඩලයක් ලබන ජූලි 03 වැනිදා පත් කරගන්නේ. ඒත් සියලු ප්‍රතිසංවිධාන කටයුතු අවසානයේදී ස්ථීර නිලධාරි මණ්ඩයලයක් පත් කරගන්නවා.


ශ්‍රීලනිපය ආණ්ඩුවෙන් ඉවත්වන දිනය තීරණය කළ යුත්තේ ආණ්ඩුවේ සිටින ශ්‍රීලනිප ඇමැතිවරුන් 23 දෙනා බව ජනාධිපතිවරයා පවසා තිබෙනවා. නොබෝ දිනකින් ශ්‍රීලනිපය ආණ්ඩුවෙන් ඉවත් වෙනවා කියන කාරණයද මේ සිදුවෙමින් තිබෙන්නේ?


මේ විදිහේ ආණ්ඩුවක් අපේ රටේ දේශපාලන ඉතිහාසයේ පළමුවැනි වතාවට තමයි ඇති වුණේ. මීට කලින් ප්‍රධාන ජාතික දේශපාලන පක්ෂ දෙකේ නායකත්වයෙන් කුමන හෝ පක්ෂයක් තමයි බලයට ආවේ. ඒත් වර්තමාන සම්මුතිවාදී ආණ්ඩුව ඇති කරන්නට මූලික අඩිතාලම දැම්මේ මේ රටේ ඡන්දදායකයන්. 2015 අගෝස්තු 17 වැනිදා ගමේ ඡන්දපොළට ගිහින් ඒ අය ගහපු කතිරයේ අවසාන ප්‍රතිඵලය කුමක්ද? එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ එක්සත් ජාතික පෙරමුණ, මන්ත්‍රි ධුර 106කුත්, ශ්‍රීලනිපය ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානය මන්ත්‍රි ධුර 95කුත් ලබාගත්තා. 225ක් ඉන්න පාර්ලිමේන්තුවේ තනි පක්ෂයක් බලය පිහිටුවන්න අවම 113ක් අවශ්‍යයි. පක්ෂ දෙකටම 113ක් තිබුණේ නැහැ. එසේනම් මෙවැනි සම්මුතිවාදී ආණ්ඩුවක් පිහිටුවන්න සිදු වුණා. දෙපාර්ශ්වය එකට එකතු වෙලා සම්මුතිවාදී ආණ්ඩුවක් පිහිටෙව්වා. ඒ සම්මුතියට පරිබාහිරව යනවා නම්, එක පැත්තක් විතරක් ඒකපාර්ශ්විකව තීන්දු ගැනීම ප්‍රජාතන්ත්‍රවාදයත් නීතිමය තත්ත්වය වුණත් කෙතරම් සාධාරණද කියන ප්‍රශ්නය පැනනඟිනවා. ඒ නිසා මේවා බොහෝදුරට කල්පනා කරලා බලලා අවධානයට ලක් කරලා ගතයුතු තීන්දුයි. ඒ නිසා තමයි ජනාධිපතිතුමා එතුමත් එක්ක දැනටත් ආණ්ඩුවේ සිටින, මැති ඇමැතිවරුන් එක්ක වෙනම සාකච්ඡා කළා. 16 කණ්ඩායමත් එක්ක වෙනම සාකච්ඡා කළා. මේ පිළිබඳ එතුමා ප්‍රධාන කමිටු 2ක් පත් කර තිබෙනවා. ඉදිරියේදී ඒ පත්කළ කමිටු අදාළ නිර්දේශයන් ජනාධිපතිතුමාට දෙනවා. ඉන්පසු එතුමා තවදුරටත් අධ්‍යයනය කරලා එතුමා බලයට පත්කිරීමට ප්‍රමුඛ වුණු සියලු දෙනාගේම අදහස් විමසා ගතයුතු හොඳම දේශපාලන තීන්දුව යථා කාලයේදී ගනියි. එතෙක් අපි අපේ පක්ෂය ශක්තිමත් කරමින් දේශපාලන වැඩපිළිවෙළ ගෙනයනවා.


එක පැත්තක් තීන්දු තීරණ ගත්තා කියන්නෙ එජාපයටනේ. විධායකය බලතල සහිත ජනාධිපතිවරයා ශ්‍රීලනිපය නියෝජනය කරමින් ආණ්ඩුව පවත්වාගෙන යෑමට මූලික වුණා. එතකොට එජාපයට විතරක් නිසි විදිහට කටයුතු කළේ නෑ කියලා චෝදනාව කරන්න පුළුවන්ද?


මෙතැන තියෙන්නේ ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකක්. පක්ෂ දෙකේ ප්‍රතිපත්තිය, දර්ශනය, වැඩපිළිවෙළ, සංකල්ප, නායකත්වයන් වෙනස්. එවැනි පාලන තන්ත්‍රයක් ඉතිහාසයේ පළමුවැනි වතාවට සිදුවුණාම ප්‍රායෝගික වශයෙන් යම් ගැටලු ඇතිවීම ස්වාභාවිකයි. ඒක වළක්වන්න පුළුවන්කමක් නෑ. ඒ නිසා අපට එවැනි ප්‍රශ්නවලට යම් මට්ටමකින් බුද්ධිසහගතව, සාධාරණව, මධ්‍යස්ථව විස¼දා ගනිමින් තවදුරටත් පුළුල් ලෙස සාකච්ඡා කරමින්, ඉදිරියට යන එකයි කරන්න පුළුවන්. හැබැයි පිළිගන්නවා පවතින පාලන තන්ත්‍රයේ තිබෙන වාසිදායක තත්ත්වයන් වගේම අවාසිදායක තත්ත්වයන් සියලු දෙනාම සමව බෙදා ගන්න වෙනවා. ලාභ, පාඩු, ලැබෙන ප්‍රශංසා, නින්දා සියල්ලටම ඔබ කියන ආකාරයට යම් යම් මට්ටම්වලින් දායක වෙනවා. හැබැයි යම් පාර්ශ්වයක් අන් අයගේ අනුදැනුමකින් තොරව, යම් වරදක් අඩුපාඩුවක් කළා නම්, එහි මූලික වගකීම ඒ අයට පැවරෙනවා.


ශ්‍රීලනිපයේ 16 දෙනකු විපක්ෂයේ වාඩි වුණා. කොටසක් ඒකාබද්ධ විපක්ෂයේ. ශ්‍රීලනිපයෙන් ආණ්ඩුව ඉවත්වන දිනය තීරණය කළ යුත්තේ ආණ්ඩුවේ ඇමැතිවරුන් 23 දෙනා බව ජනාධිපතිවරයා කියා තිබෙනවා. මුළු ශ්‍රීලනිපයම කොහෙද මේ යන්නේ?


ශ්‍රීල.නි.ප.ය බිහිවෙලා අවුරුදු 67 තුළ නායකයන් කීපදෙනකු සිටියා. පක්ෂය තුළ තම හදවතට එකඟව ගමේ ශාඛා මට්ටමේ සිට මධ්‍යම කාරක සභාව දක්වා විවෘතව අදහස් දක්වන්නට ඉඩප්‍රස්තාව ලැබී තිබෙන්නේ වර්තමාන නායක මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා යටතේ පමණයි. ඒ නිසා බොහෝ දෙනා ප්‍රජාතන්ත්‍රවාදී ගති ලක්ෂණය යොදා ගනිමින් හැම අවස්ථාවකම තමන්ගේ පෞද්ගලික අදහස් උදහස් දක්වනවා. කෙනකුට පේන්න පුළුවන්, ගැටලුවක්, ප්‍රශ්නයක්, මතවාදී අරගලයක් තිබෙනවා කියලා. නමුත් ශ්‍රීලනිපයේ අපි හැමදාම ඒ පිළිබඳව දීර්ඝව තර්ක කරනවා. විවේචනය කරගන්නවා. වාද කරනවා. ලොකු කතාබහකට කථිකාවකට යනවා. හැබැයි අවසානයේදී පක්ෂයටත්, පාක්ෂිකයාටත්, රටටත් යහපත් වන නිවැරැදි හොඳම දේශපාලන තීන්දුව තමයි අපි අරගෙන තියෙන්නේ. හෙට දවසෙත් මේ සියලු වැදගත් කාරණා වෙනුවෙන් අපි ඒ ආකාරයටයි කටයුතු කරන්නේ.


මේ යන්නේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ බලවේගය සමඟ එකතු වෙන්නද?


මා දන්නා පමණින් අපෙන් වෙන්වෙලා හිටි සමහරුන් ඍජුව සාමාජිකත්වය ලබාගත්තත් නැතත් අලුත් දේශපාලන පක්ෂයකට හිතවත්ව කටයුතු කරනවා. පසුගිය පළාත් පාලන මැතිවරණයේදීත් ඔවුන් ඒ වෙනුවෙන් පෙනී සිටියා. වැඩ කළා. මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේත් ප්‍රතිපත්තිය, දර්ශනය වී තිබෙන්නේ බණ්ඩාරනායක ප්‍රතිපත්තිය තුළ මධ්‍යම ප්‍රතිපදාවේත් ප්‍රජාතන්ත්‍රවාදීවත් මේ පාලන තන්ත්‍රය ඉදිරියට ගෙන යෑමයි. ඒ නිසා කොයිම අවස්ථාවකවත් අන්ත දක්ෂිණාංගත හෝ අන්ත වාමාංශගත නොවන දේශපාලනයේ මැදුම් පිළිවෙත අනුගමනය කරන පක්ෂයක් අපි. ඒ නිසා කිසිම පක්ෂයක වල්ගයක් වෙන්න, කිසිම පක්ෂයකට යටවෙලා වැඩ කරන්න අපි සූදානම් නෑ. අපි අපට අනන්‍ය වුණු පක්ෂ ප්‍රතිපත්තිය, දර්ශනය තුළ, තමයි කටයුතු කරලා තියෙන්නේ වගේම අද කරන්නේ සහ හෙට කරන්න බලාපොරොත්තු වෙන්නෙත්.


මේ තියෙන තත්ත්වයත් එක්ක ශ්‍රීලනිපය නැවත ගොඩගන්න පුළුවන් වෙයි කියලා හිතනවාද?


1977 මැතිවරණ ප්‍රතිඵලයෙන් ශ්‍රීලනිපයට ලැබුණේ ආසන නවයයි. අද තිබෙන ගණනවත් තිබුණේ නෑනේ. බණ්ඩාරනායක මැතිතුමා ජීවිතක්ෂයට පත් වුණාම, මැතිනියගේ ප්‍රජා අයිතිය නැති වුණාම, පක්ෂය අවසන් වෙයි කියලා හිතුවා. පොඩි පසුබෑමක් ඇති වුණා. හැබැයි අපි ලබපු පසුබෑම ඉදිරි සුවිශේෂී ජයග්‍රහණයක අඩිතාලමක් හැටියටයි අපි කටයුතු කරන්නේ.


බඩු මිල ඉහළ යනවා. රුපියලේ ක්‍රය ශක්තිය අඩු වෙනවා. ගොවීන් අමාරුවේ. ජනතාවගේ නොයෙකුත් ප්‍රශ්න තිබුණත්, ආණ්ඩුවේ ප්‍රශ්න විසඳන එක විතරයි කරන්නේ කියා ඇහෙනවා?


කොයි ආණ්ඩු කාලෙද ඔහොම ප්‍රශ්න ජනතාවට නොතිබුණේ. හැම පක්ෂයක්ම බලයට එනකොට හැම නායකයකුම පොරොන්දු දෙනවා. මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ කාලයේ තිබුණේ ශක්තිමත් ආණ්ඩුවක්. ඒත් ඇයි එතුමා විධායක ජනාධිපති ධුරය අවුරුදු දෙකකට කලින් අතෑරියේ. ඒ ඇතිවන ගැටලු, ප්‍රශ්න පිළිබඳව ඔවුන්ටත් යම් ඉවක් තිබුණා. ඒ නිසා කවුරු බලයට ආවත් මෙවැනි ආර්ථික අර්බුදවලට මූණ දෙන්න සිදු වෙනවා. මොනම පාලකයෙක්වත් තමන්ව බලයට පත් කළ ජනතාවට පීඩාවක්, හානියක් කරන්න කැමැති නෑ. නමුත් සමහර තීන්දු අපට රටක් හැටියට ගන්න බෑ. තෙල් මිල ප්‍රශ්නය අපට තීන්දු කරන්න පුළුවන්ද?

චෝදනාවක් තිබෙනවා බැඳුම්කර වංචාව වහගන්න තමයි තෙල් මිල වැඩි කළේ කියලා. මං බැඳුම්කර වංචාවට තනිකර විරුද්ධයි. එහිදී වැරැදි කරපු සියලු දෙනාට සම්මත නීතිය තුළ දඬුවම් දී අවශ්‍ය දේ කළ යුතුයි. හැබැයි අද තෙල් මිල වැඩි වෙන්නේ බැඳුම්කර වංචාව වහගන්න නම් පහුගිය පාලන තන්ත්‍රය තුළ ඇයි තෙල් මිල වැඩි කළේ? මේ තෙල් මිල වැඩිවුණු පළමුවැනි වතාවද? පහුගිය ආණ්ඩුව ඉවත්වී අප ආණ්ඩුව භාරගන්නකොට තිබුණු තෙල් මිලට වඩා අඩු තෙල් මිලක් අද තිබෙන්නේ. කවුරු මොනවා කීවත් ජනතාව අපට වඩා බුද්ධිමත්.


ඒ නිසා අප කතා කළ යුතු වන්නේ බුද්ධිමත් ජනතාවටයි. වර්තමානය විතරක් අතපත ගාලා තීන්දු ගන්න බෑ. ජනතාව මෙහි යථාර්ථය තේරුම් ගත යුතුයි. පහුගිය ආණ්ඩුව කටයුතු කළේ කොහොමද කියලා තේරුම් ගත යුතුයි. එහෙම ක්‍රියාකළ ආණ්ඩු අද මොනවා කීවත් ඒ ආකාරයට පිළිගන්න පුළුවන්කමක් නෑ. ජනතාව එය පිළිගන්නවා නම් ඒක දැන හෝ නොදැන කරන වරදක් විදිහටයි මා දකින්නේ.


මේ ආණ්ඩුව බලයට පත්වනවිට ජනතාව අපේක්ෂා කළ දේ තරම් දෙයක් සිදුවුණේ නෑ කියන චෝදනාව එල්ල වෙනවා නේද?


ඕනෑම ඡන්ද දායකයෙක් තමන් වැඩ කරන පක්ෂය, තමන් වැඩකරන අපේක්ෂකයා පිළිබඳ ලොකු බලාපොරොත්තු ඇතිව තමයි ඡන්ද කරන්නේ. ඒ බලාපොරොත්තුවෙන් ඔහුව දිනවනවා. ඉන් පසුව ඒ පක්ෂයෙන් ඒ පුද්ගලයාගෙන් ලොකු දේ බලාපොරොත්තු වෙනවා. හැබැයි සමහර විට බලාපොරොත්තු වන සියලු දේ ඉෂ්ට කරන්න බැහැ.
වර්තමාන ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා යටතේ මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය, නීතියේ ආධිපත්‍ය තහවුරු වෙලා තියෙනවා. ඒක කවුරුත් පිළිගන්නවා.
ඉතිහාසයේ නොතිබූ ස්වාධීන කොමිෂන් සභා ඇති කළා. ආණ්ඩුව ආරම්භයේදී තෙල් මිල විශාල වශයෙන් අඩු කළා. ගෑස් මිල අඩු කළා. රජයේ සේවකයන්ගේ වැටුප් වැඩි කළා. අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල අඩු කරලා දෙන්න පුළුවන් උපරිම කාල සීමාවේ යම් සහනයක් ලබා දුන්නා.


ලංකාවේ විධායක ජනාධිපති ක්‍රමය ආවාට පසු ව්‍යවස්ථාවට සංශෝධන කරපු සියලු නායකයන් කර තිබෙන්නේ තමන් සතු විධායක බලය වැඩි කරගන්න එකයි. හැබැයි මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමා විතරයි එතුමාගේ පාලන කාලය තුළ ඉදිරිපත් වුණු ව්‍යවස්ථා සංශෝධනයෙන් විධායක ජනාධිපති ධුරය තුළ තිබූ යම් යම් බලතල ඉවත් කර දාලා තියෙන්නේ.


විධායක බලතල සහිත ජනාධිපති ධුරය අහෝසි කරන බව කියමිනුයි මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා පොදු අපේක්ෂකයා බවට පත් වුණේ. ඒත් දැන් 2020 ශ්‍රී ලනිපයේ ජනාධිපති අපේක්ෂකයා ඔහු බව කියනවා. එතකොට මේ කියන පොරොන්දුව ඉෂ්ට කරලා නෑනේ?


2015 ජනවාරි 08 වැනිදා තිබුණු මැතිවරණයට මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා තරග කළේ. නිර්පාක්ෂික අපේක්ෂකයෙක් හැටියට. එදා එතුමා ඒ දේ ප්‍රකාශ කළා. ඒක ඇත්ත. හැබැයි මැතිවරණයෙන් පස්සේ එතුමා හැමදාම ආදරය කරපු, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට සම්බන්ධ වුණා. පාක්ෂිකයන් එතුමාගෙන් ඉල්ලා සිටියා පක්ෂ නායකත්වය ගන්න කියලා. අද එතුමා ශ්‍රී ලනිපයේ නායකයා. ඒ නිසා අද පක්ෂය විධියට එතුමාට අපි යෝජනා කළා ඔබ එදා නිර්පාක්ෂිකයකු හැටියට තීන්දුවක හිටියත්, අද ශ්‍රී ලනිපයේ සභාපතිවරයා නිසා පක්ෂයේ අපේ මතය නම් ඉදිරි මැතිවරණයට ඔබතුමා ජනාධිපති අපේක්ෂකයා ලෙස තරග කළ යුතුයි කියන එක.


ජනවාරි 08 වැනිදා දරන මතය එතුමාට දරාගෙන ඉන්න පුළුවන්කමක් නෑ. අද ප්‍රධාන දේශපාලන පක්ෂයක එතුමා සභාපතිවරයා නිසා. එතුමා ඒ ප්‍රතිපත්තිමය තීන්දුවට ඇවිත් තියෙන්නේ.


පළාත් සභ මැතිවරණය පවත්නවා නම් ශ්‍රීලනිපය ලෙසද මැතිවරණයට ඉදිරිපත් වෙන්නේ?


මේ වනවිට පළාත් සභාවල කාල සීමාව අවසන් වෙලා පළාත් සභා තුනක් විසිරිලා ගිහින් තියෙනවා. තව කීපයක කාල සීමාව මේ වසර තුළ අවසන් වීමට නියමිතයි. දකුණ, බස්නාහිර සහ උව පළාත් සභාවල නිල කාලය අවසන් වෙන්නේ 2019 වර්ෂයේදීයි. පළාත් සභා සම්බන්ධවත් රටේ ජනතාවගේ විශාල මතයක් තිබුණා සමානුපාතික ඡන්ද ක්‍රමය වෙනුවට කොට්ඨාස සහ සමානුපාතික ඡන්ද ක්‍රමයන් ඇතුළු කොට මිශ්‍ර ඡන්ද ක්‍රමයක් තිබිය යුතුයි කියලා. ඒ අනුව තමයි පළාත් සභා පනතට යම් කිසි සංශෝධන කිරීමට පාර්ලිමේන්තුවට ගෙනත් තිබෙන්නේ. හැබැයි ඒවා පාර්ලිමේන්තුව තුළ සම්මත වෙලා නැහැ. නමුත් පළාත් පාලන මැතිවරණයෙන් පසුව ඡන්ද ක්‍රමය පිළිබඳව රටේ විවිධ මත තිබෙනවා. ඒ නිසා මේ අවස්ථාවේ මට නිශ්චිතව කියන්න බැහැ ව්‍යවස්ථාදායකය ගනු ලබන තීන්දුව මොකද්ද කියලා. හැබැයි කුමනාකාරයකට කවදා ඡන්දය පැවැත්වුවත්, ශ්‍රීලනිපය ඒ මැතිවරණය වෙනුවෙන් ඉදිරිපත්වීම සඳහා සූදානම් වීමේ මූලික කටයුතු මේ වනවිටත් ආරම්භ කරලයි තියෙන්නේ.


රටක ජනතාව එක එක බුද්ධි මට්ටමේ අය. හඳට ඇඟිල්ල දික් කර හඳ පෙන්වද්දී බලන කෙනා හඳ දිහාත් බලනවා, නැතිනම් ඇඟිල්ලේ කෙළවර දිහාත් බලනවා. ඒ විදිහට තම තමන්ගේ දැනුම, අවබෝධය තුළ කටයුතු කරනවා. යථාර්ථයට අප මුහුණ දිය යුත්තේ ඒ විදිහටයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon