සිවිල් ආරක්ෂක භටයාගේ ගිනි අවිය පත්තු වී කොස්තාපල්වරයෙක් මරුට

  👤  976 readers have read this article !
By mawbima 2018-05-21

අනුරාධපුර - එරන්ද ශෂිප්‍රිය, අනුරාධපුර - මහේෂ් විජේසූරිය


හොරොව්පොතාන වාගොල්ලාකඩ පොලිස් මුරපොළේ සේවයෙහි නියුතුව සිටි පොලිස් කොස්තාපල්වරයකු සහ සිවිල් ආරක්ෂක භටයකු ඉකුත්දා (18දා) රාත්‍රි පොලිස් මුරපොළ පසු පස මීටර් හත්සියයක් පමණ දුර කැලෑබද ප්‍රදේශයට ගිය අවස්ථාවේ සිවිල් ආරක්ෂක භටයා සන්තකයේ තිබූ ගිනි අවියක් ක්‍රියාත්මක වී වෙඩි වැදීමකින් හොරොව්පොතාන පොලිස් ස්ථානයට අනුයුක්තව වාගොල්ලාකඩ පොලිස් මුරපොළේ රාජකාරි කරමින් සිටි තිස්එක් හැවිරිදි පොලිස් කොස්තාපල්වරයා මරුමුවට පත්ව ඇත.
ඉකුත් (18දා) රාත්‍රි 11.30ට පමණ වූ මේ සිද්ධියෙන් පසු පොලිස් මුරපොළ වෙත පැමිණ ඇති සැකකාර සිවිල් ආරක්ෂක භටයා තමන් අතින් සිදු වූ අත්වැරැදීමකින් වෙඩි වැදී පොලිස් කොස්තාපල්වරයා බරපතළ තුවාල ලැබූ බව පොලිස් මුරපොළේ සේවයෙහි නියුතුව සිටි සෙසු පොලිස් නිලධාරීන්ට පවසා ඇත.
අනතුරුව වහා ක්‍රියාත්මක වූ සෙසු පොලිස් නිලධාරීන් වෙඩි වැදී තුවාල ලැබූ කොස්තාපල්වරයා ප්‍රතිකාර සඳහා හොරොව්පොතාන කපුගොල්ලෑව ප්‍රාදේශීය රෝහල වෙත රැගෙන යන අතරතුර මරුමුවට පත්ව ඇත.


හොරොව්පොතාන මහපොතාන තල්අත්තැව ප්‍රදේශයේ පදිංචිව සිටි ජයරත්නගේ සුසන්ත ජයරත්න මහතා (68918) මෙසේ මියගොස් ඇත. සිද්ධියෙන් මරුමුවට පත් පොලිස් කොස්තාපල්වරයා මීට හත් මසකට පමණ පෙර විවාහ වූ අයෙකි.


මේ අනුව මෙම සිද්ධිය සම්බන්ධයෙන් මූලික පරීක්ෂණ පැවැත්වූ හොරොව්පොතාන පොලිසිය සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ හොරොව්පොතාන දුටු වැව අනුකලාප කාර්යාලයට අනුයුක්තව සේවයෙහි නියුතුව සිටි තිස්අට හැවිරිදි සිවිල් ආරක්ෂක භටයකු සහ ඔහු සන්තකයේ තිබූ වයිකාල් වර්ගයේ බෝර ‍ෙදාළහේ ගිනි අවියක්ද සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.


මේ අතර වෙඩි වැදීමෙන් මරුමුවට පත් කොස්තාපල්වරයාගේ මරණය සම්බන්ධයෙන් වූ මහෙස්ත්‍රාත් පරීක්ෂණය වැඩබලන මහෙස්ත්‍රාත් ටි්‍රලිශියා දිසානායක මහත්මිය විසින් පෙරේදා (19දා) සිද්ධිය වූ ස්ථානයට ගොස් පවත්වනු ලැබුවාය.


මෙහිදී ඉදිරිපත් වූ විද්‍යාත්මක සාක්ෂි සහ කරුණු සැලකිල්ලට ගත් වැඩබලන මහෙස්ත්‍රාත්වරිය කොස්තාපල්වරයාගේ සිරුර අනුරාධපුර ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය ඒකකයට යොමු කොට පශ්චාත් මරණ පරීක්ෂණය පවත්වා ඒ පිළිබඳව මරණ පරීක්ෂණ වාර්තාව සහ අදාළ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය විසින් මෙතෙක් සිදු කළ පරීක්ෂණවල ප්‍රගතිය පිළිබඳ වාර්තාව සමඟ සැකකරු අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙසට පොලිසියට නියෝග කළාය.


අනතුරුව මියගිය කොස්තාපල්වරයාගේ මරණය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය අනුරාධපුර ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරි එච්.එල්. කරුණාතිලක මහතා විසින් පවත්වනු ලැබීය. ඒ අනුව කොස්තාපල්වරයාගේ මරණය වෙඩි වැදීමකින් සිදුවී ඇති බව අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා නිගමනය කොට ඇත.
උතුරුමැද පළාත භාර නියෝජ්‍ය පොලිස්පති සඳුන්ගහවත්ත සහ අනුරාධපුර කොට්ඨාස පොලිස් අධිකාරි තිළිණ හේවාපතිරණ යන මහත්වරුන්ගේ උපදෙස් මත මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පැවැත්වීම සඳහා මැදවච්චිය සහකාර පොලිස් අධිකාරි කංචන ගොඩකුඹුර සහ මැදවච්චිය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චන්දන කන්දෙවත්ත යන මහත්වරුන්ගේ මෙහෙයවීමෙන් හොරොව්පොතාන පොලිසියේ අපරාධ විමර්ශණ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ගාමිණි ජයවර්ධන මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් පත්කොට ඇත. සැකකරු ඊයේ (20දා) කැබිතිගොල්ලෑව මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon