පිරිවෙන කඩා ඔප්පු සොරාගත් පුද්ගලයකුට ලක්‍ෂයක ශරීර ඇප

  👤  1070 readers have read this article !
By mawbima 2018-05-21

කුමුදු උපුල් ශාන්ත


නුගේගොඩ උඩහමුල්ල ශ්‍රී බෝධි පිරිවෙන් කාමරයක් කඩා එහි තිබූ ඔප්පු ලියකියැවිලි හා මුදල් ඇතුළු දේපළ රැසක් සොරාගෙන ගිය බව කියන සැකකාර පුද්ගලයකු ඇප මත මුදාහරින ලෙස නුගේගොඩ ප්‍රධාන මහෙස්ත්‍රාත් වයි.ආර්.බී. නෙළුම්දෙනිය මහතා නියෝග කළේය.


උඩහමුල්ල මාදිවෙල පාර ප්‍රදේශයේ පදිංචි ජේ.කේ. දයානන්ද නමැත්තකු මෙම සිද්ධියේ සැකකරු වන අතර ඔහුට රුපියල් ලක්‍ෂයක් වටිනා ශරීර ඇප නියම කෙරිණි.
එම විහාරස්ථානයේ පාලන විහාරාධිකාරි ලෙස කටයුතු කරන පූජ්‍ය මාදිවෙල සීවලී හිමියන් මිරිහාන පොලිසියට කරන ලද පැමිණිල්ලක් අනුව සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබිණි.


පැමිණිලිකාර හිමිනම විහාරස්ථානයෙන් බැහැරව සිටින අවස්ථාවකදී රාත්‍රි කාලයේ එම විහාරස්ථානය වෙත පැමිණ ඇති සැකකාර පුද්ගලයා එහි ‍ෙදාරක් කඩා එම විහාරස්ථානයේ වැඩවෙසෙන තවත් හිමිවරුන් දෙනමකගේ සහාය ඇතිව එම දේපළ සොරාගෙන ගොස් ඇති බවද අනාවරණය වෙයි.


එසේ සොරාගෙන ගිය දේපළ අතර මුදල් පිරවූ තායි සුදු යකඩ පාත්‍ර තුනක්, විහාරස්ථානයට අයත් ඔප්පු හා ඊට අදාළ ලිපි ගොනුවක්, මෝටර් රථයේ යතුරක් ඇතුළු දේපළ රැසක් එසේ සොරාගෙන ගොස් ඇති බව ද පැමිණිල්ලේ සඳහන්ය.


මෙම විහාරස්ථානයේ වැඩ විසූ විහාරාධිපති හිමියන් මීට පෙරදී අපවත් වී ඇති බවත් උන්වහන්සේගේ දේපළ තමන්ට අයිති බව පවසමින් සැකකාර පුද්ගලයා එම දේපළ එසේ සොරාගෙන ගොස් ඇති බවත් මිරිහාන පොලිසිය මේ සම්බන්ධයෙන් කළ විමර්ශනයකදී සොරාගත් දේපළ කිහිපයක් සොයාගෙන ඇති බව ද අධිකරණයේදී අනාවරණය කෙරිණි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon