අපි මේ රට හදන්න පුළුවන්-දක්ෂ කැපවීමක් තිබෙන දේශපාලනඥයන් සිටින ආණ්ඩුවක් හදමු

  👤  1018 readers have read this article !
By mawbima 2018-05-21

ඇටම්පිටිය - රත්න වීරසිංහ සහ පස්සර - කපිල ගුණවර්ධන


"අපි මේ රට හදන්න පුළුවන් දක්ෂ කැපවීමක් තියෙන දේශපාලනඥයන් සිටින ආණ්ඩුවක් හදමු" යැයි හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා බදුල්ලේදී පැවැසීය.
ඒ මහතා එසේ පැවැසුවේ ඊයේ (20දා) සවස බදුල්ල පුරහලේදී පැවැති රට ගොඩනැඟීමේ ජාතික එකමුතුව මෙහෙයවන සම්මන්ත්‍රණ මාලාවේ සමාරම්භක සම්මන්ත්‍රණයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සිය දේශනය කරමිනි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජපක්ෂ මහතා මෙසේද සඳහන් කළේය.


"අප පසුගියදා මේ රටේ විද්වතුන් රැසක් සමඟ සාකච්ඡා කළා මේ රටේ ඇතිවී තිබෙන අභියෝගවලට මුහුණ දෙන්නේ කෙසේද කියා. අද අපට තියෙන අභියෝගයන් අතර ප්‍රමුඛත්වය ගන්නේ රටේ ආර්ථිකය හා සංවර්ධනය. අද අපේ රටේ ආර්ථිකයත් සංවර්ධනයත් ඉතා පහත් තත්ත්වයකට වැටී තිබෙනවා. අද පවතින ආර්ථික ප්‍රතිපත්ති වෙනස් කරගන්නේ කෙසේද ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කරගන්නේ කෙසේද නීතියේ ආධිපත්‍යය රැකගන්නේ ප්‍රවර්ධනය කරගන්නේ කෙසේද දැනුමින් වැඩි ශ්‍රම බළකායක් නිර්මාණය කිරීම සඳහා අධ්‍යාපනය සකස් කරන්නේ කෙසේද කියා අප වියත් මඟ සංවිධානය හරහා සාකච්ඡා කළා".


"අදටත් අප රටේ විශාල පිරිසක් දිළිඳුකමින් පෙළෙනවා. සැමටම ජීවත් විය හැකි ආර්ථිකයක් ඇති කිරීම ආරක්‍ෂිත නිවෙසක්, අධ්‍යාපනය සෞඛ්‍යය ආරක්ෂාව ආදී සියලු දේ ගැන අප ප්‍රතිපත්ති සකසාගෙන යනවා. එවන් ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම ගැන අද ප්‍රශ්නයක් තිබෙනවා. ඒ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට දක්ෂ පුද්ගලයන් අවශ්‍යයි".
"අද රජයන් නොයෙක් ප්‍රතිපත්ති ප්‍රකාශයන් ඉදිරිපත් කර බලයට ආවත් ඒ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්න හැකි අය නැති නිසයි මේ තත්ත්වය ඇතිවී තිබෙන්නේ. අද සියලුම අත්‍යවශ්‍ය ද්‍රව්‍ය මිල ඉහළ ගිහින්. බදු බර වැඩිවෙලා. ව්‍යවසායකයන් අසීරුවට පත්වෙලා. ආයෝජකයන් එන්නේ නෑ. එසේ තිබියදී මේ සම්බන්ධයෙන් වගකිවයුතු රටේ ඇමැතිවරයා කියනවා මේ රටේ හිටපු භයානකම ආරක්ෂක ලේකම්වරයා වූ ගෝඨාභය රාජපක්‍ෂ බලයට ගේන්න එපා කියා.


රටේ මෙච්චර ප්‍රශ්න තිබියදී එයාට තියෙන ප්‍රශ්නෙ ඒකයි. අද අපට අවශ්‍ය මෙවැනි ප්‍රතිපත්තියක් නැති දැක්මක් නැති දේශපාලකයන් ඉවත් කරලා රටට කැපවීමෙන් වැඩ කරන්න පුළුවන් ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්න පුළුවන් දේශපාලනඥයන් ඉදිරියට ගේන්නයි.".


"කොළඹ සංවර්ධනය කර මේ රටේ ලෝකයේ වේගයෙන් දියුණු වන රටක් බවට පත් කළේ මේ රටේ ත්‍රස්තවාදී යුද්ධය අවුරුදු දෙකහමාරකින් නිම කළේ අපට වැඩ කරන්න පුළුවන් නිසයි. 2006 මහින්ද රාජපක්ෂ මහතා බලයට පැමිණි අවස්ථාවේ අපට තිබුණු විශාලම අභියෝගය අවුරුදු 30ක ත්‍රස්තවාදය අවසන් කිරීම. අප ඒ සඳහා සුදුසු පුද්ගලයා තෝරාගත්තා. මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා අපට මඟපෙන්නුවා. බොරු නිවේදන නිකුත් කරමින් සිටියේ නෑ. හමුදාව ලක්ෂ තුනකින් වැඩි කරන්න මම යෝජනා කළාම ජනාධිපතිවරයා බය නැතිව රටේ කොතෙකුත් ආර්ථික ප්‍රශ්න තිබියදී ඒ සඳහා මුදල් ලබා දුන්නා. එතුමා බටහිර රටවල්වලට නැමුණේ නෑ. එනිසා අපට යුද්ධය අවසන් කරන්න පුළුවන් වුණා."


"යුද්ධයෙන් පස්සේ අපි රට සංවර්ධනය කළා. අද සමහරු හම්බන්තොට වරාය, මත්තල ගුවන්තොටුපොළ, අධිවේගී මාර්ග ගැන කතා කරනවා. උතුරු නැඟෙනහිර කළ සංවර්ධනය බොහෝ දෙනා දැක්කේ නැහැ. ඒ පළාත්වල සුද්දාගෙන් පස්සේ අපි දුම්රිය මාර්ග ඉදිකළා. සියලු බිම් බෝම්බ අවුරුදු දෙකකින් ඉවත් කළා. ජාත්‍යන්තර සංවිධාන ඒ සඳහා අවුරුදු 12ක් ඉල්ලුවා. මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයා කීවා එතරම් කල් දෙන්න බෑ. මට අවුරුදු දෙකකින් මේවා ඉවත් කරලා ඒ ප්‍රදේශ සංවර්ධනය කරන්න ඕන කියලා. යටත් වුණු එල්.ටී.ටී.ඊ. සාමාජිකයන් 13,000ක් පුනරුත්ථාපනය කර සමාජ ගත කළා. අවශ්‍ය තැන්වල හමුදා කඳවුරු ඉදිකර සිවිල් වැසියන්ගේ සියලු ඉඩම් හා දේපළ ඔවුන්ටම යළි භාරදුන්නා. මේ ජයග්‍රහණ ගැන බටහිර බලවේග කතා කරන්නේ නැහැ."


"අදටත් අපට අවශ්‍ය රටේ ප්‍රශ්න හඳුනාගෙන ප්‍රතිපත්ති සකසා ඒවා ක්‍රියාත්මක කරන්න පුළුවන් දක්‍ෂ පිරිසක්. එක ඇමැතිවරයෙක් මම නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ලෙස කොළඹ හදපු දෙමටගොඩ තට්ටු නිවාස වැඩ අවසන් කර ඒ අය කළා වගේ බෝඩ් ගහලා විවෘත කළා. මේ වගේ අදක්‍ෂ දේශපාලනඥයන් මේ රටට අවශ්‍ය නෑ. අද කොළඹ තිබෙන සියලු ආයෝජන ගෙනාවේ මම ලේකම්වරයෙක් ලෙස කටයුතු කරන කාලයේ අද කෝ ඒ වගේ ආයෝජන. මේ ඇමැතිවරුන්ට වැඩ බෑ. එදා චන්ද්‍රිකා මහත්මියගේ කාලේ රනිල් වික්‍රමසිංහ මහත්තයාට විරුද්ධව විශාල චෝදනා එල්ල කරමින් පෝස්ටර් ප්‍රචාරය ගෙන ගිය මංගල සමරවීර මහත්තයා මේ ඊයේ පෙරේදා කියනවා මම එහෙම කළේ රනිල්ට වැඩ පුළුවන් බව දැනගෙන හිටිය නිසා කියලා. එහෙනම් එයා දැන් මට විරුද්ධවත් බොරු ප්‍රචාර ගෙනියන්නේ මටත් වැඩ පුළුවන් බව එයා දන්න නිසයි. මේ රටේ ජනතාවට මේ වගේ බොරු ප්‍රචාර ගෙනියලා මේ රට පල් කරන දේශපාලනඥයන් අවශ්‍ය නෑ. මේ රට හදන්න පුළුවන් දක්‍ෂ කැපවීමක් තියෙන දේශපාලනඥයන් තමයි අවශ්‍ය. අපි ඒ වගේ අය සිටින ආණ්ඩුවක් හදමු.


ප්‍රදේශයේ මහා සංඝරත්නය ඇතුළු ආගමික පූජකවරුන් ද හිටපු අමාත්‍ය කුමාර වෙල්ගම, මේජර් ජෙනරාල් කමල් ගුණරත්න, වෛද්‍ය වසන්ත බණ්ඩාර, මාධ්‍යවේදී මොහාන් සමරනායක, රියර් අද්මිරාල් සරත් වීරසේකර, රට ගොඩනැඟීමේ ජාතික එකමුතුවේ සභාපති රජරට අනුරාධ තෙන්නකෝන් සහ එම එකමුතුවේ බදුල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ විමල් තිලකරත්න යන මහත්වරු ද මෙම සම්මන්ත්‍රණය ඇමතූහ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon