දැඩි නායකයකු මේ රටට ඕනෑ

  👤  615 readers have read this article !
By mawbima 2018-05-21

ශ්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු පාර්ශ්වයේ අනුනායක දිඹුල්කුඹුරේ ශ්‍රී සරණංකර විමලධම්ම නාහිමියෝ පැවැසූහ.

එමෙන්ම අතීතයේදී මෙන් වසර ගණනක් ඒකාධිපතියකු නොවන, තනි පුද්ගලයකු හෝ රජකු යටතේ පාලනය ගෙන ගියොත් මේ රට හදාගන්න හැකියාව ඇති බවත්, උන්වහන්සේ කීහ.

අනුරාධපුරය, මැදවච්චිය, ඉසින්බැස්සගල රජමහ විහාරස්ථානයේ අභිනවයෙන් ඉදිකෙරුණු දෙමහල් ධර්ම ශාලාව සහ පුස්තකාල ගොඩනැඟිල්ල සඟ සතුකොට විවෘත කිරීමේ පුණ්‍ය මහෝත්සවයට සහභාගි වෙමින් උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළහ.

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මහ ලේකම් වාරිමාර්ග, ජල සම්පත් හා ආපදා කළමනාකරණ අමාත්‍ය දුමින්ද දිසානායක සහ උතුරු පළාත් ආණ්ඩුකාර එම්.පී. ජයසිංහ යන මහත්වරුන්ගේ සහභාගිත්වයෙන් මෙම දෙමහල් ගොඩනැඟිල්ල සඟසතු කොට විවෘත කෙරිණි.

ඉසින්බැස්සගල රජමහ විහාරස්ථානයේ විහාරාධිපති ශ්‍රී ලංකා භික්‍ෂු විශ්වවිද්‍යාලයේ බෞද්ධ හා පාලි අධ්‍යයනාංශයේ අංශාධිපති, උතුරු නුවරගම් පළාතේ උප ප්‍රධාන අධිකරණ සංඝනායක රාජකීය පණ්ඩිත ආචාර්ය කඩවත්ගම පියරතන ස්වාමින් වහන්සේගේ අනුශාසනා පරිදි ශ්‍රී ලංකා නාවික හමුදාවේ ශ්‍රම දායකත්වයෙන් මෙම ගොඩනැඟිල්ල ඉදිකොට ඇත.

මෙහිදී වැඩිදුරටත් අනුශාසනාව පැවැත්වූ උන්වහන්සේ මෙසේද පැවැසූහ.

වත්මන් සමාජය විනයක් නොමැති තත්ත්වයට පත්වෙලා. අද සමහර භික්‍ෂුන් වහන්සේටත් විනයක් නෑ. විනය තමයි ශාසනයේ ආයුෂය. අද ඒක නෑ. රූපවාහිනියෙන්, පත්තරවලින් බලන්න අපේ හාමුදුරුවරුන් කොතනද වැඩවර්ජනයක්, උද්ඝෝෂණයක් තියෙන්නේ. ඒ හැම අවස්ථාවකම කහ සිවුර ඉස්සරහට දානවා. අපේ බෞද්ධ මිනිස්සු කඳුළු ගෑස්, ජල ප්‍රහාර එල්ල කරන විට කොහොමද හාමුදුරුවරුන් දුවන්නේ. ගෙවල් උඩ, තාප්ප උඩ නඟින්නේ කොහොමද? අනෙක් ඒවා පෙරළන්නේ, කඩන්නේ, මේ දවස් ටිකේ විතරක් නෙවෙයි කලිනුත් එහෙමයි.

ඊළඟට බලන්න දේශපාලන ක්‍ෂේත්‍රය. ඇයි මේ දේශපාලනය කරන අය ගහ මරා ගන්නේ. කලින් මෙහෙම තත්ත්වයක් පැවතුණේ නෑ. අතීතයේ බොහෝම බුද්ධිමත්, ධනය, වස්තුව තියෙන අය දේශපාලනයට ආවේ. දැන් බොහෝ දෙනෙක් දේශපාලනයට එන්නෙ තමන්ගෙ සාක්කුව පුරව ගන්න. එහෙම නැත්නම් වාහන, ගෙවල් ‍ෙදාරවල් හා ඉඩම් කඩම් ගන්න. ඒ විදියට මේ රටේ දේශපාලන ක්‍ෂේත්‍රය විනාශ වෙලා. විනයක් නෑ. ඒ විදියට ඒවා සිදුවෙනවා. කලින් එහෙම නෑ.

මම රජයට යෝජනාවක් කළා මේ මැති ඇමැතිවරුන්ට වැටුප් නොදී කිසියම් දීමනාවක් දෙන්න කියලා. වැටුප් නිසා තමයි මේ දේශපාලනය කරන අය මරාගෙන, කොටාගෙන ජනතාවට නොයෙක් විදියේ දේවල් දීලා දේශපාලනයට එන්නෙ. දේශපාලනඥයන් පමණක් නොවෙයි අද ආණ්ඩුවේ සමහර නිලධාරීන් ක්‍රියා කරන්නෙත් අල්ලසට සහ දූෂණයට යට වෙලා. හැමදාම බණ කියන, පිරිත් අහන ශ්‍රී ලංකාවට මේ මොකද වෙලා තියෙන්නේ. වයස අවුරුදු ‍ෙදාළහෙ පාසල් යන දුවට දරුවෝ හම්බෙනවා. මොන විදියේ දූෂණයක්ද මේ වෙන්නේ. මෙහෙම ගියොත් මේ රට කොතනින් නතර වෙයිද කියන්න දන්නේ නෑ.

දැන් රටේ මොන තරම් වැඩ වර්ජනද, එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක මැතිතුමා 1956දී අගමැති වුණා. එතුමා බොහෝම සාමකාමී පුද්ගලයෙක්. දරදඬු පුද්ගලයෙක් නෙවෙයි. මැදුම් පිළිවෙත අනුගමනය කළ කෙනෙක්. එතුමාගේ කාලයේ එක අවුරුද්දට දින 365යි.

වසරකට දින තුන්සිය හැට පහටත් වැඩිය වැඩවර්ජන. දැනුත් එහෙමයි. වාතයක් ගියත් වැඩවර්ජන. මේක හරි පුදුම ලෝකයක්. දෙයියනේ අපේ රටේ මේ ප්‍රජාතන්ත්‍රවාදය අපිට ගැළපෙන්නේ නෑ කියලා මට හිතෙනවා.

මේ රට අවුරුදු දහස් ගණනක් තනි පුද්ගලයෙක්, රජෙක් යටතේ පාලනය ගෙන ගියොත් මේ රට හදාගන්න පුළුවන්. ඒකාධිපති කෙනෙක් ගැන නෙවෙයි මම කියන්නේ. මේ රට හදාගන්න නම් හොඳ රටට, ජාතියට, ආගමට, සමාජයට හා පුද්ගලයන්ට හිතවත් ටිකක් තද නායකත්වයෙන් යුතු පුද්ගලයකු අවශ්‍යයි. නැත්නම් මේ රට හදන්න බෑ.

මෙම අවස්ථාවට නාවික හමුදාපති රියර් අද්මිරාල් සිරිමෙවන් සරත්චන්ද්‍ර රණසිංහ, හිටපු අමාත්‍ය තිස්ස කරල්ලියද්ද යන මහත්වරුන් ඇතුළු දේශපාලන නියෝජිතයෝ, ත්‍රිවිධ හමුදා නිලධාරීන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon