විමර්ශනයට අදාළව FCID කතානායකගෙන් පැය 5ක්

  👤  493 readers have read this article !
By mawbima 2018-05-21

චාමර අමරසූරිය

මාධ්‍යවේදී කීත් නොයාර් මහතා පැහැර ගෙන ගොස් කෘෘර වධ හිංසා පැමිනවීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදුවන විමර්ශනයකට අදාළව කතානායක කරු ජයසූරිය මහතාගෙන් පැය පහකට ආසන්න කාලයක් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව ඉකුත් 18 වැනි දින රාත්‍රියේ ප්‍රශ්න කොට ප්‍රකාශ සටහන් කරගෙන තිබේ.

අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ කණ්ඩායමක් කථානායකවරයාගේ අවසරයකට අනුව කථානායක නිල නිවෙසට ගොස් මෙම ප්‍රකාශ සටහන් කර ගැනීම සිදුකර ඇත.

කීත් නොයාර් මහතා පැහැර ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් එවකට ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට පළමුවෙන්ම දැනුම්දීම කර ඇත්තේ කරු ජයසූරිය මහතා බව ද සඳහන් වේ.

කරු ජයසූරිය මහතා ඒ බව දැන ගත්තේ කෙසේද යන්න සහ විමර්ශනවලට අදාළ තවත් කරුණු කිහිපයක් සම්බන්ධයෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් කථානායකවරයාගෙන් ප්‍රශ්න කර ඇති බව ද එම ආරංචි මාර්ග පවසයි.

කථානායකවරයාගෙන් මේ සම්බන්ධව ප්‍රකාශ සටහන් කර ගැනීමට අවශ්‍ය බවට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් කථානායකවරයාට මීට පෙර දන්වා තිබිණි.

එම දැනුම් දීමට අනුව අදාළ ප්‍රකාශ ලබාදීම සඳහා කථානායකවරයා විසින් ඉකුත් 18 වැනි දින නම් කර තිබූ අතර ඒ අනුව මෙම ප්‍රකාශ සටහන් කර ගෙන ඇත.

2008 වර්ෂයේදී මාධ්‍යවේදී කීත් නොයාර් මහතා පැහැර ගැනීමට ලක් විය. එකල ඔහු "ද නේෂන්" පුවත්පතේ සම කර්තෘවරයා ලෙස කටයුතු කරමින් සිටියේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon