FCID කළ විමර්ශනවලට අදාළ නීතිපති උපදෙස් කඩිනමින් දෙන්න

  👤  590 readers have read this article !
By mawbima 2018-05-21

අමිල අබේරත්න

කොළඹ කොටුව ක්‍රිෂ් (ම්පඪඵඩ) ට්‍රාන්ස්වර්ක්ස් චතුරස්‍රයේ අක්කර 4.3ක් බදු දීමේදී පසුගිය රජය සමයේ සිදුවී ඇතැයි කියන මූල්‍ය අක්‍රමිකතාව සම්බන්ධයෙන් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය සිදු කළ විමර්ශනවලට අදාළ නීතිපති උපදෙස් කඩිනමින් ලබාදෙන ලෙසට කොළඹ කොටුව මහෙස්ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු ලංකා ජයරත්න මෙනෙවිය පසුගියදා (18දා) නීතිපතිවරයා වෙත සිහිකැඳවීමක් නිකුත් කළාය.

සිද්ධිය සම්බන්ධයෙන් මෙතෙක් සිදු කළ විමර්ශනවලට අදාළ උද්ධෘත නීතිපතිවරයා වෙත යවා ඇතත් ඒ සම්බන්ධයෙන් මෙතෙක් නීතිපති උපදෙස් ලැබී නැති බවට මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාස නිලධාරීන් අධිකරණය හමුවේ දැනුම් දුන් කරුණු සඳහා මහෙස්ත්‍රාත්වරිය එලෙස නීතිපතිවරයා වෙත සිහි කැඳවීමක් නිකුත් කෙරිණි.

ඊට අමතරව සිද්ධියට අදාළව විමර්ශන පවත්වා වාර්තා කරන ලෙසද මහෙස්ත්‍රාත්වරිය මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාස නිලධාරීන්ට දැනුම් දුන්නාය.

සිද්ධිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රි නාමල් රාජපක්ෂ මහතා චෝදනා ලැබ සිටින අතර ඔහුට එරෙහිව එල්ල කර ඇති චෝදනා වනුයේ කොළඹ කොටුව ක්‍රිෂ් ට්‍රාන්ස්වර්ක්ස් චතුරස්‍රයේ අක්කර 4.3ක් ඉන්දියානු සමාගමකට ඉදිකිරීම් ව්‍යාපෘතියක් සඳහා පසුගිය රජය සමයේ බදු දීමේදී රගර් ක්‍රීඩාවේ ප්‍රවර්ධන කටයුතු ක්‍රිෂ් ලංකා නමැති ඉන්දියානු සමාගමෙන් ලබාදුන් මිලියන 70ක මුදලක් වෙනත් කටයුතු සඳහා යොදාගෙන අවභාවිත කිරීමයි.

සිද්ධියට අදාළව නිමල් පෙරේරා නමැති අයගේ ගිණුම් 2කට අවස්ථා දෙකකදී විදේශීය බැංකු ගිණුමකින් මුදල් බැර වී ඇති බවද ඔහුගෙන් ලබාගත් වැඩිදුර ප්‍රකාශවලදී එය අනාවරණය වූ බවද මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාස නිලධාරීන් කොටුව අධිකරණයට දැනුම් දුන්නේය.

නිමල් පෙරේරා යන අයට එම මුදල ඉතාලි ජාතිකයකුගෙන් ලැබුණු බවට ප්‍රකාශ කළ බවද මූල්‍ය අපරාධ කොට්ඨාස නිලධාරීන් අධිකරණයට දැනුම් දෙනු ලැබිණි.

ඊට අදාළව බැංකු ගිණුම් සහ සිංගප්පූරු සමාගම තොරතුරු ලබාගැනීම සඳහා අනේ‍යාන්‍ය සහයෝගිතා පනත යටතේ (ර්ඹ්ඒ) සහාය ඉල්ලා ඇති බවද ඊට අදාළ ලේඛන භාරදීමට කටයුතු කරන බවද මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාස නිලධාරීන් අධිකරණයට වැඩිදුරටත් දැනුම් දුන්නේය.

සිද්ධියට අදාළව සැකකාර පාර්ලිමේන්තු මන්ත්‍රි නාමල් රාජපක්ෂ මහතාට රටවල් කිහිපයකට යෑම සඳහා පසුගිය සිකුරාදා (18දා) සිට ලබන ජූලි 13 වැනිදා දක්වා විදේශගතවීමට අවසර ලබාදෙන ලෙස ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ සම්පත් මෙන්ඩිස් මහතා අධිකරණයෙන් ඉල්ලීමක් කළ අතර එය සලකා බැලීමෙන් අනතුරුව මහෙස්ත්‍රාත්වරිය ඒ සඳහා අවසර ලබාදෙනු ලැබිණි.

මීට පෙර මන්ත්‍රිවරයා විදේශගතවී පැමිණ අධිකරණය මඟ හැර නොසිටීම සහ විධිමත් ලෙස නඩුවට පෙනී සිටීම සලකා විදේශගත වීමට අවසර ලබාදෙන බව මහෙස්ත්‍රාත්වරිය දන්වා සිටියාය.

දූෂණ විරෝධී හඬ සංවිධානයේ කැඳවුම්කරු වසන්ත සමරසිංහ යන අය විසින් 2015 වසරේ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට සිදු කළ පැමිණිල්ලකට අනුව සිද්ධිය සම්බන්ධයෙන් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විමර්ශන ආරම්භ කර ඇත.

නඩුව ජූලි 13 වැනිදා යළි කැඳවීමට නියමිතය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon