මෙරට ආරක්ෂක හමුදාවන්ට යුද අපරාධ චෝදනා නෑ

  👤  554 readers have read this article !
By mawbima 2018-05-21

ඇතැම් මාධ්‍ය සහ අන්තවාදී සංවිධාන වැරදි ලෙස විග්‍රහ කරන අන්දමට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ කොමසාරිස්වරයාගේ යෝජනා තුළ මෙරට ආරක්ෂක හමුදාවන්ට යුද අපරාධ චෝදනා නැතැයි තමා පැහැදිලිව ප්‍රකාශ කරන බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අවධාරණය කරයි.

ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ පාර්ලිමේන්තු ක්‍රීඩාංගණයේ රණවිරු ස්මාරකය අබියස පෙරේදා (19දා) පස්වරුවේ පැවැති ජාතික රණවිරු සැමරුම් දින උත්සවය ආමන්ත්‍රණය කරමිනි.

ම්ලේච්ඡ ත්‍රස්තවාදය පරදා ලක්වැසි සියලු ජනතාවට නිවහල් රාජ්‍යයක් උදාකර දීමට දිවිහිමියෙන් සටන් වැදුණු වීරෝදාර රණවිරුවන් සැමරීම වෙනුවෙන් මෙම උත්සවය අභිමානවත් අයුරින් ඊයේ පැවැත්විණි.

ත්‍රස්තවාදියා කවුද? රණවිරුවා කවුද පැහැදිලි කර ගැනීමට අද සමහර අයට නොහැකි වීම පිළිබඳව මම කනගාටු වෙනවා. රණවිරුවා සහ ත්‍රස්තවාදියා තේරුම් ගැනීමේ නොහැකියාව ආණ්ඩුවේ ඇතැම් දේශපාලනඥයන්ටත් තිබෙනවා. විපක්ෂයේ දේශපාලනඥයන්ටත් තිබෙනවා යි එම උත්සවය අමතමින් ජනාධිපතිරයා වැඩිදුරටත් සඳහන් කළේය.

ජනාධිපතිවරයා එම ප්‍රකාශය කරනවාත් සමඟම මෙම සැමරුම් උත්සවයට සහභාගි වී සිටි රණවිරු පවුල්වල පිරිස් අත් පොළසන් නාදයක් නඟන අයුරු කැපී පෙනෙන සිද්ධියක් විය. මෙම උත්සව සභාවේ කටයුතු ආරම්භ කරමින් රණවිරු සේවා අධිකාරියේ සභාපතිනි අනෝමා ෆොන්සේකා මහත්මිය පිළිගැනීමේ කතාව කර රණවිරුවන් සිහි කිරීම වෙනුවෙන් විනාඩි දෙකක නිශ්ශබ්දතාවක් ප්‍රකාශයට පත් කළාය. නමුත් විනාඩියක්වත් ගත වෙන්නට මත්තනේ අනුස්මරණ නිශ්ශබ්දතා කාලය අවසන් යැයි ඇය සැමට ස්තුතිය පළ කළ අවස්ථාවේ රණවිරු පවුල්වල මවුපියන් ඇතුළු ඥාතීන් පිරිස් එකිනෙකාගේ මුහුණ දෙස බලමින් කුතුහලයකින් පසුවූ අතර ඇතැම් පරිස් ආසනවල අසුන් නොගෙන ඉතිරි කාලය තුළ නිශ්ශබ්දතාව රැක හිස නමා ආචාර කරන අයුරුදු දක්නට ලැබිණි.

රණවිරු ස්මාරකය වෙත පුෂ්පෝපහාර දැක්වූ ජනාධිපතිවරයා මාතෘ භූමිය වෙනුවෙන් දිවි පිදූ සියලු රණවිරුවන්ට සිය උත්තමාචාරය පිරිනැමීය. උත්සවය අමතමින් ජනාධිපතිවරයා මෙසේද කීය.

ත්‍රිවිධ හමුදාව, පොලිසිය, සිවිල් ආරක්ෂක සේවාව වගේම මේ රටේ සිවිල් ජනතාවගේ පැත්තෙන් බැලුවහොත් මේ ම්ලේච්ඡ ත්‍රස්තවාදය නිසා මියගිය සංඛ්‍යාව මෙතෙකැයි කියා හරියට ගණන් බැලූ තැනක් නැහැ. කොළඹ නගරයේ ඒ යුගය තුළ බෝම්බ ප්‍රහාරවලින් මියගිය සංඛ්‍යාවන් කොතෙක්ද යන්න නිවැරැදිව තෝරා ගැනීමේ හැකියාවක් එවකට තිබුණේ නැහැ. ජාතියේ නිදහස සඳහා ඔබේත් මගේත් ආදරණීය මාතෘ භූමියේ ඒකීයභාවය, භෞමික අඛණ්ඩතාව, ස්වාධීනත්වය, නිදහස, ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීමට මව්බිම වෙනුවෙන් දිවි පිදූ ආදරණීය වූ ගෞරවනීයවූත් ශේ්‍රෂ්ඨ රණවිරුවන් සෑම කෙනෙක්ටම ශ්‍රී ලංකා රජයේත් ලාංකික ජනතාවගේත් මුළු මහත් ජාතියේත් ගෞරවය, ප්‍රණාමය මේ අවස්ථාවේදී මා මුලින්ම පුද කරනු ලබනවා.

වසර 30කට ආසන්න කාලයක් පැවැති ම්ලේච්ඡ යුද්ධය තුළ මියගිය සංඛ්‍යාවන් පිළිබඳව නිවැරැදි සංඛ්‍යා ලේඛන පැහැදසිලි කිරීමට හැකිවන්නේ ත්‍රිවිධ හමුදාවේ පොලිසියේ සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ ඒ මියගිය සහ අතුරුදන් වූ එමෙන්ම ආපදාවන්ට ලක්වූ රණවිරුවන් පිළිබඳ පමණයි. යුද්ධය පැවැති මුළු කාලය තුළ මියගිය මුළු සංඛ්‍යාව මා පෙර සඳහන් කළ ආරක්ෂක අංශවල 28,708ක් පමණ වෙනවා. ආබාධිත වූ සංඛ්‍යාව 40,107ක් පමණ වෙනවා. සිවිල් ජනතාවගේ පැත්තෙන් මියගිය සංඛ්‍යාව නිවැරැදිව මෙතෙකයි කියා කීමට හැකියාවක් නැහැ. එවකට සිදුවූ සිදුවීම්වල අත්දැකීම් ඇති අපිට ඒ මතකය අවධි කිරීම තුළ විශ්වාස කළ හැකියි. ලක්ෂයකට ආසන්න සංඛ්‍යාවක් අපේ රටේ මියගිය බව. ඒ මියගියේ සිංහල, දමිළ, මුස්ලිම් සියලු ජන කොටස්. එවකට රටේ ජනාධිපතිවරයෙක් නාවික හමුදාපතිවරයෙක් ආරක්ෂක අංශවල ප්‍රධානීන් ඇතුළු මේ රටේ දේශපාලනඥයන්, ආරක්ෂක ප්‍රධානීන්, රාජ්‍ය නිලධාරීන්, පොදු මහජනතාව විශාල පිරිසක් මියගියා.

අද ඇතැම් අය යුද්ධය පැවැති ආකාරය, ම්ලේච්ඡ එල්.ටී.ටී.ඊ. ත්‍රස්තාවාදීන්ගේ ක්‍රියාකාරකම් පිළිබඳව බොහෝ විට වැරැදි විග්‍රහයන් කරනවා. වැරැදි නිගමනයන් සිදු කරනවා. එල්.ටී.ටී.ඊ. ත්‍රස්ත්‍රවාදී ප්‍රහාරවලින් මියගියේ සිංහල ජනතාව පමණක් නොවේ. මුස්ලිම් ජනතාව පමණක් නොවේ. ද්‍රවිඩ ජනතාව පමණක් නොවේ. විශේෂයෙන් සඳහන් කළ යුතුයි.

පාර්ලිමේන්තුවේ සිටි විපක්ෂ නායකවරයෙක් වූ ද්‍රවිඩ නායකයෙක් වූ අප්පාපිල්ලේ අමීර්තලිංගම් තරුණ උගත් දේශපාලනඥයෙක් වූ තිරුචෙල්වම් මුළු ලෝකයේම ගෞරවයට ආදරයට පාත්‍ර වූ අපේ විදේශ ඇමැතිවරයෙක් වූ උගත් බුද්ධිමත් ලක්ෂ්මන් කදිරගාමර් ඇමැතිතුමා එවැනි එක් එක් අංශ වශයෙන් සඳහන් කළ හැකියි.

ත්‍රස්තවාදියා කවුද? රණවිරුවා කවුද? පැහැදිලි කර ගැනීමට අද සමහර අයට නොහැකිවීම පිළිබඳව මම කනගාටු වෙනවා. රණවිරුවා සහ ත්‍රස්තවාදියා තේරුම් ගැනීමේ නොහැකියාව ආණ්ඩුවේ ඇතැම් දේශපාලනඥයන්ටත් තිබෙනවා. විපක්ෂයේ දේශපාලනඥයන්ටත් තිබෙනවා. මුදල් ඉපයීමට රට අවුල් කිරීමට සාදාගත් එන්.ජී.ඕ.වලටත් තිබෙනවා. මේ සියලු දෙනාටම ප්‍රශ්නයක් දෙස බලන විට ශ්‍රී ලාංකිකයන් නම් දේශීය චින්තනයක් තුළ අපේකම් තුළ අපේ උරුමයන් තුළ අපේ ශිෂ්ටාචාරයේ සහ සභ්‍යත්වයේ ගෞරව සහ අනන්‍යතාව තුළ රට ගැන ජනතාව ගැන සහ රණවිරුවන් ගැන සිතන්නට කියා මා ඒ අයගෙන් ඉල්ලීමක් කරනවා.

මෙලෙස දිවිපිදූ රණවිරුවන් ජීවිතය එදා සටන් බිමේදී පරිත්‍යාග කළේ නැත්නම් ඔබ අප විඳින මේ නිදහස අපට විඳීමට කිසිසේත්ම පුළුවන්කමක් නැහැ. වසර 30කට ආසන්න කාලයක් රට තුළ තිබූ භීෂණය, සැකය, අවිශ්වාසය, අවිනිශ්චිත භාවය, දේශපාලන අස්ථාවරත්වය මේවා පිළිබඳව බොහෝ කරුණු කිව හැකියි. වසර 30ක් තිස්සේ එවකට පැවැති සෑම රජයක්ම ඉතාමත්ම අවංකව උත්සාහ කළා ම්ලේච්ඡ එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීන්ව පරාජය කිරීමට. වසර 30ක යුද කාලයේදී විශේෂයෙන්ම 2009 මැයි මාසය වන විට එවක පැවැති රජයට පුළුවන්කම ලැබුණා සම්පූර්ණයෙන් ත්‍රස්තවාදීන් භෞතික වශයෙන් යුදමය වශයෙන් පරාජය කිරීමට.

රටින් පිට විදේශයන්හි සිටින එල්.ටී.ටී.ඊ. ජාලයේ එල්.ටී.ටී.ඊ. සංවිධානවල පුද්ගලයන් අදත් ඔවුන්ගේ සටන් පාඨය ඉදිරිපත් කරනවා. අපේ ආදරණීය මාතෘ භූමිය වෙන් කරන්න. ඔවුන් බලාපොරොත්තු වූ තවමත් බලාපොරොත්තු තබා ඇති ඊළාම් රාජ්‍යයක් පිළිබඳව සිහිනය සැබෑ කරන්න. එහෙත් මා ඉතා පැහැලිව කියනවා වර්තමාන රජය විදියට මේ රටේ පුරවැසියෙක් විදියට කිසිවිටකත් මිලේච්ඡ ත්‍රස්තවාදීන්ගේ එල්.ටී.ටී.ඊ. සංවිධානවල ඒ සිහින, බලාපොරොත්තු කිසිවිටකත් ඉටුවීමට අප ඉඩදෙන්නේ නැති බව. අපිට රටක් වශයෙන් මුහුණදීමට සිදුවන අභියෝගවලදී ආර්ථිකය, දේශපාලනය විවිධ ක්ෂේත්‍ර පිළිබඳව කතා කළ හැකියි.

රටක් වශයෙන් කටයුතු කරන විට රට තුළ තිබෙන අප විසින් ලබාදී ඇති නිදහස ප්‍රජාතන්ත්‍රවාදය තුළ ඕනෑම කෙනකුට නිදහසේ කතා කළ හැකියි. නිදහසේ ලියන්න පුළුවන් නිදහසේ විරෝධතා පවත්වන්න පුළුවන්. ඒ සියල්ල තුළ අපගේ වගකීම් සහ යුතුකම් පැහැදිලිව තේර්ම් ගත යුතුයි. ඇතැම් දේශපාලන මොළේ අමාරුකාරයන්ට රණවිරුවා සහ ත්‍රස්තවාදියා තේරුම් ගැනීම නොහැකි වූවා සේම ඇතැම් වෙලාවට මා කනගාටුවෙන් වුවත් කිව යුතුයි රාජ්‍ය මාධ්‍යවලටත් රණවිරුවා පිළිබඳව පැහැදිලි ඇගයීමක් කරන්නට ඔවුන්ට කුමක්දෝ අතපසුවීමක් ඇතිවී තිබෙනවා.

මා රාජ්‍ය මාධ්‍ය ආයතනවලට පැහැදිලිව කියනවා රණවිරුවාට දිය හැකි ගෞරවය සහ සැබෑ රණවිරුවා ජීවිතය පරිත්‍යාග කරමින් කළ කැපකිරීම් පිළිබඳව කිසිවිටකත් අමතක නොකරමින් ජනතාවට ඒ මතකය අවදි කරමින් ඔවුන්ට ලබාදිය යුතු ගෞරවය සැමවිටම ලබා දෙන්න කියා. රාජ්‍ය නොවන මාධ්‍ය ආයතන රණවිරුවන් වෙනුවෙන් අපේ රජය කරනු ලැබූ සේවාවන් පිළිබඳව කතා නොකිරීම පිළිබඳවත් මම කනගාටු වෙනවා. දේශපාලන වාසි තකා ඇතැම් දේශපාලනඥයන් කරන කතාවන්, සමහර අය කියා තිබෙනවා රණවිරුන්ව මේ රජය අමතක කළා කියා. මම ඉතා පැහැදිලිව කිව යුතුයි අපේ රජය බලයට පත්වෙන්න කලින් තිබුණේ රණවිරු සතියක්. මේ මැයි මාසය අපේ රජය විසින් අමාත්‍ය මණ්ඩලය විසින් රණවිරු මාසයක් බවට පත් කරනු ලැබුවා. මේ රණවිරු මාසය තුළම රණවිරුවාගේ ගුණ සිහිපත් කරමින් ගෞරව කරමින් එම වැඩසටහන ශක්තිමත් කරමින් පින් පමුණුවමින් විවිධ කටයුතු රාශියක් මේ මාසය තුළම සිදුවුණා. සිදුවෙනවා.

ආරක්ෂක සේවාවල සාමාජිකයන්ට තිබෙන්නාවූ අභියෝගවලදී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම හරහා අපට එල්ල වූ යෝජනාවලදී ඇතැම් මාධ්‍ය සහ අන්තවාදී සංවිධාන වැරැදි ලෙස කොතෙක් විග්‍රහ කළත් අපේ ආරක්ෂක හමුදාවන්ට මානව හිමිකම් කොමසාරිස්වරයාගේ යෝජනා තුළත් යුද අපරාධ කිසිසේත් නොමැති බව මා පැහැදිලිවම කියනවා. ඇතැම් අය සඳහන් කරනවා යුද අපරාධ තිබෙනවා කියා. කිසිසේත් නැහැ. එවැනි යුද අපරාධ සම්බන්ධයෙන් කතා කරන්නේ මුහුදින් එගොඩ සිටින රජයට විරුද්ධ ආරක්ෂක හමුදාවට විරුද්ධ අන්තවාදී අදහස් දරන එල්.ටී.ටී.ඊ.ට සම්බන්ධ අය.

පහන් විජේසේකර

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon