කොළඹ නගරයේ ප්‍රභාකරන්ගේ ප්‍රතිමා හැදී ගුණ සමරු පවත්වන දිනය වැඩි අෑතක නෑ

  👤  425 readers have read this article !
By mawbima 2018-05-21

ආණ්ඩුව සහජීවනයට මුවා වී කරන තක්කඩිකම්වල ප්‍රතිඵලයක් ලෙසින් කොළඹ නගර මධ්‍යයෙත් ප්‍රභාකරන්ගේ ප්‍රතිමා තැනී ගුණ සමරු පැවැත්වෙන දිනය වැඩි අෑතක නොවන බව ඒකාබද්ධ විපක්ෂයේ කැඳවුම්කරු, ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි ප්‍රසන්න රණතුංග මහතා පැවැසීය.

ප්‍රසන්න රණතුංග මහතා මේ අදහස් පළ කළේ මිනුවන්ගොඩ රණවිරු සංසදය සංවිධානය කළ මිනුවන්ගොඩ විජයග්‍රහණයේ සැමරුම් උළෙලට 18දා සහභාගි වෙමිනි. මිනුවන්ගොඩ නගර මධ්‍යයේ ඉදිකළ රණවිරු සැමරුම් ස්මාරකය ඉදිරිපිට මෙම උත්සවය පැවැත්විණි.
මෙහිදී මන්ත්‍රිවරයා මෙසේද කීය.

අවුරුදු 30ක් තිස්සේ අපේ රටට පිළිලයක් වෙලා තිබුණු කොටි ත්‍රස්තවාදය ඉදිරියේ ජනාධිපතිවරුන් සිවු දෙනෙක් අන්ත අසරණ වුණා. ජේ.ආර්, ප්‍රේමදාස, ඩී. බී. සහ චන්ද්‍රිකා කියන ජනාධිපතිවරුන් සිවු දෙනාටම කොටි ඉස්සරහා දණින් වැටිලා ඉන්නවා හැර වෙන කරන්න දෙයක් තිබුණේ නැහැ.

ආණ්ඩුවේ ඇමැතිවරුන් අපේ රණවිරුවන් හෑල්ලු කරලා ත්‍රස්තවාදීන් වීරයන් කරන ප්‍රකාශ නිකුත් කරනවා. මම දැක්කා රාජිත සේනාරත්න කියන තුට්ටු දෙකේ ඇමැතිවරයා කියනවා කොටි ත්‍රස්තවාදීන් සමරන එක සාධාරණයි කියලා.

මේ ඇමැතිවරයා තමන්ගේ අදහස් කියන එක ගැන අපිට ගැටලුවක් නැහැ. නමුත් රජයේ කැබිනට් ප්‍රකාශක විදියට මෙයා කියන්නේ ආණ්ඩුවේ නිල මතයද කියන ගැටලුව අපිට තියෙනවා. රාජිත කොහොමත් හැසිරෙන්නේ නිල නොවන ජනාධිපති එහෙමත් නැත්නම් ජනාධිපතිගේ එකම අයිතිකාරයා විදියට නිසා අපිට සිද්ධ වෙනවා මේවා ආණ්ඩුවේ නිල ප්‍රකාශ විදියට ගණන් ගන්න. එහෙම නෙවේ නම් ජනාධිපතිවරයා මේ කාරණා සම්බන්ධයෙන් රටට කරුණු පැහැදිලි කළ යුතුයි. අපි විශ්වාස කරන්නේ නැහැ ජනාධිපතිවරයාට රාජිතට උඩින් යන්න තරම් හයියක් තියෙනවා කියලා. ඒක නිසා තමයි රාජිත මේ විදියට උඩු බුරන්නේ.

රාජිතලා අපේ රණවිරුවන්ට මේ විදියට අපහාස කරන කොට එදා යුද්ධය වෙනුවෙන් පෙනී හිටපු පාඨලීලා කටක්වත් අරින්නේ නැහැ. 2020 ජනාධිපති සිහිනයේ ඉන්න පාඨලීලා හිතනවා ඇති ඕවාට කතා කරලා දෙමළ ඡන්ද ටික නැති කරගන්න ඕනේ නැහැ කියලා. දෙමළ ඩයස්පෝරාවෙත් බටහිර රටවලත් පදයට නටන ආණ්ඩුව රණවිරුවන් නොසලකා හැරලා ඉවරයි. රණවිරුවන් කියන්නේ සාමාන්‍ය මිනිස්සුන්ට තියෙන අයිතිවාසිකම්වත් නැති කොට්ඨාසයක් බවට මේ ආණ්ඩුව පත්කරලා තියෙනවා.

ඒ මදිවාට ආණ්ඩුව හැමදාම උත්සාහ කරන්නේ ත්‍රස්තවාදය පරාජය කරපු මේ රණවිරුවන් දංගෙඩියට අරගෙන යන්නයි. දෙමළ ජනතාවගේ ඡන්ද ටික ගන්න රණවිරුවා දංගෙඩියට දක්කාගෙන යන්න උත්සාහ කරන මේ ආණ්ඩුවේ අයට මඩුවලිගෙන් තළලත් මදි කියලයි මම නම් හිතන්නේ.

තව කාලයක් මේ ආණ්ඩුව තිබ්බොත් කොළඹත් ප්‍රභාකරන්ගේ ප්‍රතිමා හදලා මල් මාලා දාන තැනට එනවාට කිසිම සැකයක් නැහැ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon