21 වැනි ලෝක කුසලාන පාපන්දු තරගාවලිය පළමු ආබාධය ආජන්ටිනාවෙන් මතුවෙයි

  👤  3926 readers have read this article !
By mawbima 2018-05-25

තවත් දින 20කින් රුසියාවේදී ඇරැඹෙන ලෝක කුසලාන පාපන්දු තරගාවලියට ක්‍රීඩා කිරීමට නියමිතව සිටි ආජන්ටිනා පාපන්දු කණ්ඩායමේ ගෝල රකින්නා වන සර්ජියෝ රුමේරු හට දකුණු දණහිසේ ඇතිවූ ආබාධයක් හේතුවෙන් ලෝක කුසලාන තරගාවලිය අහිමි වී ඇති අතර ඔහු වෙනුවට නහුඑල් ගුස්මන් සංචිතයට කැඳවා තිබේ.

31 හැවිරිදි සර්ජියෝ ආජන්ටිනා ජාතික පාපන්දු කණ්ඩායම අවස්ථා 94කදී නියෝජනය කර ඇති අතර ඔහු මැන්චෙස්ටර් යුනයිටඩ් පාපන්දු කණ්ඩායමේද සාමාජිකයෙකි. සර්ජියෝ 2014 ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ අවසන් මහා තරගයේදීද ආජන්ටිනා ගෝල රකින්නා ලෙස ක්‍රීඩා කළේය. තවද ආජන්ටිනා පාපන්දු කණ්ඩායමේ අතිරේක ගෝල රකින්නන් ලෙස විලී කැබලෙරෝ හා ෆ්‍රැන්කෝ ආමනි කටයුතු කරයි.

විලී කැබලෙරෝ අවස්ථා දෙකකදී ආජන්ටිනා කණ්ඩායම නියෝජනය කර ඇති අතර ෆ්‍රැන්කෝ ආමනි මෙතෙක් ආජන්ටිනාව නියෝජනය කර නොමැති වීමද විශේෂත්වයකි. සර්ජියෝ රුමේරුට ශල්‍යකර්මක් සිදු කිරීමට නියමිත බව ආජන්ටිනා පාපන්දු සංගමය පවසයි.

කෙසේ වෙතත් පසුගිය පෙබරවාරි මාසයේ පාපන්දු ලීග් තරගාවලියකදී පාදයේ අස්ථි බිඳීමකට ලක්වූ බ්‍රසීල ක්‍රීඩක නේමාර්ගේ එම ආබාධය මේ වන විට සුව වෙමින් පවතින අතර ආබාධයෙන් පෙළෙන විටදීත් ඔහුව ලෝක කුසලාන බ්‍රසීල සංචිතයටද ඇතුළත් කර තිබිණි. කෙසේ වෙතත් මේ වන විට ඔහු ඉතා හොඳින් පුහුණුවීම් කටයුතු සිදුකරන බවත් බලාපොරොත්තු වූවාට වඩා ඉක්මනින් ඔහුගේ ආබාධය සුව වූ බවත් බ්‍රසීල ජාතික පාපන්දු කණ්ඩායමේ භෞතචිකිත්සකවරයා මාධ්‍ය වෙත පවසා ඇත.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon