මාළු කපන පිහියකින් බෙල්ලට කොටා දෙදරු පියකු ඝාතනය කරලා

  👤  4007 readers have read this article !
By mawbima 2018-05-25

දමුණුපොළ - චමින්ද ජයලත්

කෑගල්ල රඹුක්කන ප්‍රධාන මාර්ගයේ හිරිවඩුන්න හන්දියේදී ඊයේ (24දා) පෙරවරුවේ මාළු කපන පිහියකින් පුද්ගලයකුගේ බෙල්ලට කොටා සැකකරු පලා ගොස් ඇතැයි කෑගල්ල පොලිසිය කියයි.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ හිරිවඩුන්න, අන්දිරමඩ පාරේ පදිංචිව සිටි පටබැද්දලාගේ ගෙදර ගුණරත්න නොහොත් කළු අයියා නමැති 58 හැවිරිදි දෙදරු පියෙකි.

ඝාතනයට ලක්ව ඇති දෙදරු පියා කාලයක සිට හෝමාගම ප්‍රදේශයේ යතුරුපැදි අලුත්වැඩියාකරනු ලබන ආයතනයක සේවය කරමින් සිට ඇති අතර යම් අසනීප තත්ත්වයක් හේතුවෙන් මසක පමණ කාලයක සිට සිය නිවෙසේ පදිංචිව සිටි බව බිරිය කියයි. පසුගිය පළාත් පාලන මැතිවරණයේදී මේ පුද්ගලයා රඹුක්කන ප්‍රාදේශීය සභාවට හිරිවඩුන්න කොට්ඨාසයෙන් ජනතා විමුක්ති පෙරමුණින් තරග කර තිබිණි. මොහු කාලයක සිට හිරිවඩුන්න හන්දියේ වඩේ අලෙවි කරනු ලබන පුද්ගලයා සමඟ අමනාපකමක් තිබී ඇති අතර ඊයේ (24දා) පෙරවරු 8.00ට පමණ සිය පාපැදියෙන් හිරිවඩුන්න හන්දියට පැමිණ වඩේ කරත්තය අසල පාපැදිය නතර කර ඇත. පසුව වඩේ කරත්ත හිමිකරු විසින් අත තිබූ මාළු කපන පිහියකින් බෙල්ලට කොටා ඇති අතර පසුව තුවාලකරු බිම වැටීමෙන් පසු අත් පාවලටත් කොටා ඇති බව පොලිසිය කියයි.

බරපතළ තුවාල ලැබූ පුද්ගලයා කෑගල්ල මහ රෝහලට ඇතුළත් කර ඇති අතර ඒ වන විටත් ඔහු මිය ගොස් තිබිණි. කෑගල්ල වැඩබලන මහෙස්ත්‍රාත් නිලන්ති අබේරත්න මහත්මිය සිද්ධිය වූ ස්ථානයට හා මෘත දේහය තැන්පත් කර ඇති කෑගල්ල මහ රෝහලට ගොස් මූලික පරීක්ෂණ සිදු කළාය. මහෙස්ත්‍රාත්වරිය පොලිසියට නියෝග කර තිබුණේ ඝාතනයට ලක් වූ පුද්ගලයාගේ දේහය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණයක් පවත්වා අදාළ වාර්තාව සමඟ සැකකරුද අධිකරණයට ඉදිරිපත් කරන ලෙසයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon