නායකයෙක් ලෙස මතුවන්නන්ට පහර ගැසීම මංගලගේ සිරිතයි -සූකරයන්ගේ අභියෝග සිංහයෝ භාර ගන්නේ නැහැ

  👤  4363 readers have read this article !
By mawbima 2018-05-25

නායකයකු ලෙස පිළිගන්නා පුද්ගලයන්ට මංගල සමරවීර අමාත්‍යවරයා ඉතිහාසයේ සිට පහර පිට පහර ගැසීම පුදුමයට කාරණයක් නොවන බව ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රි ඩලස් අලහප්පෙරුම පවසයි.

මේ බව මන්ත්‍රිවරයා කියා සිටියේ ඊයේ (24දා) බොරැල්ල එන්. එම්. කේන්ද්‍රයේ පැවැති ඒකාබද්ධ මාධ්‍ය හමුවට සහභාගි වෙමිනි.

එහිදී මන්ත්‍රිවරයා මෙසේද කීය.

මේ ආණ්ඩුව ස්වාභාවික විපත් සඳහා සිදු කළ මැදිහත්වීම දුර්වලයි. ගතවූ වසර 3ක කාලයම එහෙමයි. දකුණු පළාත වසංගතයෙන් පිරිලා. ආණ්ඩුව කිසිදු පියවරක් ගත්තේ නැහැ. ඒ මේ කළමනාකරණයේ දුර්වල බව.

පළාත් පාලන මැතිවරණයටත් මේ දේම මේ ආණ්ඩුව සිදු කළා. අපි අවුරුදු 2 1/2ක් තිස්සේ අරගල කරල තමයි 2018 පෙබරවාරි 10 මැතිවරණ තියන්න ඉඩ සැලැස්සුවේ. එදා ජනමතය නිරවුල්ව පෙනුණා.

දැන් පළාත් සභා තුනක මැතිවරණ පැවැත්වීමට නියමිත නිසි කාලයට වඩා මාස අටක් (8) පසු වෙලා. උතුරු මැද, සබරගමු, නැඟෙනහිර. ඒ විතරක් නෙවෙයි, ඉදිරි මාස හතර ඇතුළෙ උතුර, වයඹ, මධ්‍යම පළාත්වලත් මැතිවරණය තිබිය යුතු කාලසීමාව පැමිණෙනවා. නමුත් මේ ආණ්ඩුව සංශෝධන පනතේ ඉඳලා මැතිවරණ කල් දැමීම තමයි දිනෙන් දින කරන්නේ. මේ සම්බන්ධයෙන් අපි ශේ‍ර්ෂ්ඨාධිකරණයටත් ගියා. එහිදී දැනුම් දුන්නා කිසිදු හේතුවකින් මැතිවරණ කල්දාන්න බැහැ කියලා. දැන් ආණ්ඩුව නව මැතිවරණ සංශෝධනය සම්මත කරලා ඉවරයි.

ඒක පැවැති මැතිවරණ ක්‍රමයට වඩා ව්‍යාකූලයි. මෙහි 50%ක් කොට්ඨාස ක්‍රමයටත්, ඉතිරි පනහ සමානුපාතික ක්‍රමයටත් තියෙන්නේ. මේක අච්චාරු සංස්කරණයක්. ඒ සංශෝධනය ඇතුළෙ තමයි තියෙන්නේ නැවත සීමා නිර්ණයක් කළ යුතුයි කියලා. ඒ සීමා නිර්ණය ආබාධිත තත්ත්වයේ පවතින්නේ. ඒ සීමා නිර්ණය මත තමයි ඡන්දය කල් දමන්නේ. මේ ක්‍රමයම තමයි පසුගිය පළාත් පාලන මැතිවරණ කාලෙත් මේ ආණ්ඩුව කළේ. මේ අනුව පැහැදිලිව පේනවා අපිට සියලු මැතිවරණ කල් දානවා කියලා.

ඒ කෙසේ වෙතත් ජනාධිපතිවරණය කල් දැමීමට මේ ආණ්ඩුවට කිසිදු ඉඩක් නැහැ. ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් ජනතා අදහස් විමසීමට ඇති අයිතිය උල්ලංඝනය කරමින් මේ පාලකයන් කරන්නේ ජනතාවගේ මතයට ඇහුම්කන් නොදීම. ඔය කොහොම කොයි මැතිවරණය කල් දැම්මත් අද ඉඳලා දින 542කින් ජනාධිපතිවරණය පැවැත්විය යුතුමයි. එදාට මේ ආණ්ඩුව දැනගනී රටේ ඇත්ත තත්ත්වය. අපි අභියෝගවලට බය නැහැ. නමුත් මේ ආණ්ඩුවේ නිර්ලජ්ජිත වැඩවලට අපි අභියෝග කරනවා සුසානයට යන ගමන ඉක්මන් කර ගන්න එපා කියලා.

ඒ නිසා තමයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 16 දෙනෙක් අපේ පැත්තට ආවේ. ඔවුන්ට කුමන මතයක් තිබුණත් අපි ඔක්කොම එක මතයක ඉන්නවා. ඒ මේ ආණ්ඩුවට එරෙහිව කටයුතු කරන එක. එදා ආණ්ඩු පක්ෂයට තුනෙන් දෙකක බලයක් තිබුණාට අද එහෙම බලයක් නැහැ. නිල විපක්ෂයේ 22යි. ඒකාබද්ධ විපක්ෂයේ 54 අපිට අලුතින් ආපු 16යි එකතු වුණාම අපිට හොඳ බලයක් තියෙනවා. ඒ නිසා සැබෑ විපක්ෂයේ අයිතිය අපිට අවශ්‍යයි. අපි මාධ්‍යයෙන් ඉල්ලා සිටිනවා විපක්ෂයේ අයිතිය ලබා ගන්න අපිට සහාය දෙන්න කියලා.

ආණ්ඩුවේ අර්බුදය රටට පේන අවස්ථාවක් තමයි මංගල සමරවීර අද හොරු හොරු කියලා, කෑ ගගහා යන එක. ඔහු අභියෝග කළාට මහින්ද රාජපක්ෂ මහතා ඔහුගේ අභියෝග පිළිනොගන්නේ සූකරයන් ඉදිරිපත් කරන අභියෝග සිංහයෝ භාර ගන්නේ නැති නිසා. ඒ සම්බන්ධයෙන් ඉතිහාස කතාවලත් තියෙනවා. පුළුවන් නම් රවි කරුණානායකට ඔය අභියෝග ඉදිරිපත් කරලා බඩු මිල, ඉන්ධන මිල වැඩි කළේ ඇයි කියලා අහන්න.

රජයේ මාධ්‍ය ප්‍රකාශක රාජිත සේනාරත්න ඇමැතිවරයා පසුගියදා මංගල සමරවීරට සුදුසුම උත්තරය ලබාදීලා තිබුණා. අද විග්නේශ්වරන්ලා ඇතුළු අය ආණ්ඩුවට අභියෝග කරන තත්ත්වයට ඇවිල්ලා තියෙනවා. එල්.ටී.ටී.ඊ. සෙවණැලි රට පුරා හොල්මන් කරන්න පටන් අරන් තියෙනවා. ඒ නිසා මහින්ද රාජපක්ෂ නායකයා යටතේ ඉදිරි මැතිවරණ ජයග්‍රහණය කිරීමට අපිට සහාය ලබා දෙන්න කියලා ඉල්ලනවා.

නුවන් හෙට්ටිආරච්චි

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon