අපේ ඇඳුම් පැලඳුම්වලට පවා බදු ගහන්න නිලධාරීන් ඇහැගහගෙන ඉන්නේ

  👤  4087 readers have read this article !
By mawbima 2018-05-25

තම ආණ්ඩුව යුද්ධ කළේ ත්‍රස්තවාදීන් සමඟ මිස දෙමළ ජනතාව සමඟ නොවන බවත් අද එම නිදහසේ ප්‍රතිඵල සිංහල ජනතාව පමණක් නොව දෙමළ, මුස්ලිම් ජනතාව භුක්ති විඳින බවත් හිටපු ජනපති මහින්ද රාජපක්‍ෂ පැවැසීය.

පානදුර නගර ශාලාවේ පැවැති උත්සව සභාව අමතමින් මහින්ද රාජපක්‍ෂ මහතා එම අදහස් පළ කළේය.

වැඩිදුරටත් කතා කළ හිටපු ජනපතිවරයා මෙසේද පැවැසීය.

'අද තියෙන දේශපාලන තත්ත්වය තමුන්නාන්සේලා දන්නවා. රට තුළ තියෙන තත්ත්වය දන්නවා. අද දවස ගාණේ ජීවන වියදම ඉහළ යනවා. ජීවන වියදම එක්කම බදු බර ජනතාවට පැටවිලා. වයස අවුරුදු දහ අටේ තරුණයාට තරුණියට පවා බදු ගෙවන්න සිදු වෙනවා. මිලදී ගන්න ෂර්ට් එක, සාරිය, ඔරලෝසුව, වළල්ල, ඇඳගෙන ඉන්න ඒවා පිළිබඳව පරිස්සම් වෙන්න. ආදායම් බදු දෙපාර්තමේන්තුවෙන් මේ සියල්ලම දිහා ඇහැ ගහගෙන ඉන්නවා. පින් කැටයටත් අද බදු ගහලා. දඹුල්ල පන්සලේ මුලින්ම ඕක පටන් ගන්නකොට අපි එළි කළා. නමුත් ඒක ගණන් ගත්තේ නැහැ. කන්දෙවිහාරේ, කතරගම විතරක් නෙවෙයි දැන් අනිත් පන්සල්වලටත් ඇහැ ගහගෙන ඉන්නවා. අද පන්සලක්, පල්ලියක්, කෝවිලක් හදන්න හැම එකටම කොමිටියකින් අවසර ගන්න ඕන. දහම් පාසලක් හදන්නත් අවසර ගන්න එතැනට යන්න ඕන. අද රටේ තියෙන තත්ත්වය හැටියට අවසර ගන්න හොඳ කාලයක් යයි.

තීන්දු ගන්න කෙනෙක් නැති වීමේ වරදින් කිසිදු හදිසි තීන්දුවක් අද ගන්න බැහැ.

අපිට රණවිරුවන් අමතක කරන්න බැහැ. අපේ රට තුළ තියෙන සංස්කෘතික බැඳීම විනාශ වෙමින් තිබෙනවා. ජනතාව තුළ තියෙන බැඳීම විනාශ කරලා රට තුළ වෙනස්ම සංස්කෘතියක් ඇති කරන්න ඔවුන් බලාපොරොත්තු වෙනවා. අද රණවිරුවන් සිහි කරන දවසේ උතුරේදී මහ ඇමැතිවරයා, අධ්‍යාපන ඇමැතිවරයා කරපු ප්‍රකාශය, කළුකොඩි ඔසවන්න, පාසල්වල කොඩි අඩකුඹු කරන්න, මේ සතිය සමූල ඝාතන සතිය වශයෙන් නම් කරන්න කටයුතු කරලා. මේ තත්ත්වයකට ආණ්ඩුවක් ඉඩ දීලා කටයුතු කරනවා.

යුද්ධය අවසන් කළේ අපි දෙමළ ජනතාවත් එක්ක කරපු සටනක් නෙවෙයි. කාත්තන්කුඩි පල්ලියේ මරා දාපු හැටි, යාපනෙන් මිනිස්සු එළවපු හැටි මිනිසුන්ට අමතක වෙලා නැහැ. මේ සියල්ල ඔවුන් පීඩනයට පත් කළා. දැන් අද නිදහසේ ඔවුන් ජීවත් වෙනවා. දරුවෝ පාසල් යනවා. විශ්වවිද්‍යාලයට යනවා. අධ්‍යාපනය ලබනවා. රැකියා ලබනවා.

අද කිසිම වැඩක් අලුතෙන් කෙරෙන්නේ නැහැ. අපේ ණය ගැන කතා කරමින් ඔවුන් ණය ගන්නවා. අපිට හොරා හොරා කියමින් ඔවුන් හොරකම් කරනවා. නියම පික් පොකට් ආණ්ඩුවක් මේක. කතා කරන ගමන් එයාලාගේ හොරකම නතර කරලා නැහැ. හැම බරක්ම අද ජනතාවට පටවමින් තියෙනවා. අපිට ඇඟිල්ල දික් කරලා තමයි ඒ හැම බරක්ම ජනතාවට පටවන්නේ. මේ රටේ මිනිස්සු ඕවා විශ්වාස කරයි කියලා ඔවුන් විශ්වාස කරනවා. ඒකයි අද තියෙන තත්ත්වය. මේවා ගැන ජනතාව අවබෝධ කර ගැනීම වැදගත්. අද පෙට්රල් මිල වැඩි කළා. තෙල්මිල ගැන දැන්වීමක් දාලා තියෙනවා මම දැක්කා. ආණ්ඩුවේ වියදමින් දැන්වීම් දැමීම බරපතළ වරදක්.

බණ්ඩාරගම ජනක හෙට්ටිආරච්චි

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon