දරුවන් දෙදෙනා ඉදිරියේ සැමියා තම බිරිය පිහියකින් කොටා මරයි

  👤  4013 readers have read this article !
By mawbima 2018-05-25

ගම්පොළ - මාධව බණ්ඩාර

පවුල් ආරවුලක් දුරදිග ගොස් සැමියා විසින් පිහියකින් කොටා බිරිය ඝාතනය කොට ඇත.

දවුලගල පොලිස් වසමට අයත් හලාදිවල ප්‍රදේශයේ මෙම ඝාතනය සිදු වී තිබේ.

සිද්ධියෙන් මියගොස් ඇත්තේ හේවාවිස්ස විදානාරච්චිලාගේ ප්‍රතිකා යමුනා විදානාර ච්චි යන 34 හැවිරිදි තිදරු මවකි.

පිහියෙන් පහරදී බිරිය ඝාතනය කිරීමෙන් පසු සැමියා විසින් එම ලේ සහිත පිහියද රැගෙන හෑපාන සුදර්ශනාරාම විහාරයේ පැවැති පොලිස් ජංගම මුරපොළට පැමිණ භාරවී ඇත.

ඝාතනයට ලක් වූ කාන්තාවට පිරිමි දරුවන් තිදෙනකු සිටින අතර ඇගේ හත් හැවිරිදි හා හතර හැවිරිදි දරුවන් දෙදෙනා ඉදිරියේ ඇය ඝාතනය වී ඇති බව පොලිස් පරීක්ෂණවලින් අනාවරණය වී ඇත.

ඇයගේ දෙවැනි පුතු වන හත් හැවිරිදි දරුවා පාසලෙන් රැගෙන දහවල් නිවෙසට පැමිණි අවස්ථාවේ නිවෙසේ සිටි 44 හැවිරිදි ඇගේ සැමියා සමඟ බහින්බස් වීමක් සිදුවී තිබේ.

බහින්බස් වීම දුරදිග යෑම නිසා ඇඳ තුළ සඟවා තිබූ පිහිය රැගෙන ඇගේ අතට හා හිසට දරුණු ලෙස පහර එල්ල කර ඇති සැමියා එම ලේ වැකුණු පිහියද රැගෙන මෙසේ ජංගම පොලිස් මුරපොළ වෙත පැමිණ තිබේ.

සිද්ධිය දුටු හත් හැවිරිදි දරුවා ඒ බව ආච්චිගේ නිවෙසේ සිටි තම වැඩිමහල් සොයුරාට දන්වා ඇති අතර 19 හැවිරිදි වැඩිමහල් සොයුරා නිවෙසට පැමිණ දරුණු කැපුම් තුවාල ලබා සිටි සිය මව පේරාදෙණිය රෝහල වෙත රැගෙන ගොස් තිබේ.

රෝහල වෙත ඇය රැගෙන යන විටත් මියගොස් ඇති බව අනාවරණය වී තිබේ.

ඇගේ සිරුර පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණ ඊයේ (24දා) දින සිදුකිරීමට නියමිතව තිබිණි. අත්අඩංගුවට ගත් සැකකරුද ඊයේ මහනුවර මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.

මධ්‍යම පළාත් ජේ‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් වන මහින්ද ඒකනායක, එස්.එම්. වික්‍රමසිංහ, මහනුවර ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරි සිසිර කුමාර, ස.පො.අ. එස්.බී. දියකෙලිනාවල යන මහත්වරුන්ගේ උපදෙස් මත දවුලගල පොලිස් ස්ථානාධිපති ජයම්පති බණ්ඩාර, උ.පො.ප. වල්ගම්පාය, උ.පො.ප. හරිස්චන්ද්‍ර, පොලිස් කොස්තාපල්වරුන් වන ඉන්දික (32870), රත්නායක (52992), කපිල (75291) යන නිලධාරීහු පරීක්ෂණ පවත්වති.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon