ලෙස්ටර් පරංගිද?

  👤  3953 readers have read this article !
By mawbima 2018-05-27

ලෙස්ටර් ජේම්ස් පීරිස් අවමඟුල අවස්ථාවේ සම්මානනීය මහාචාර්ය සුනිල් ආරියරත්නයන් කළ අපූරු දෙසුමේ, රටේ අවධානයටත්, සාකච්ඡාවටත් භාජන විය යුතු මතයක් තිබේ.

ලෙස්ටර් පරංගිද?

ලෙස්ටර් - සුමිත්‍රා යුවළගේ සහසම්බන්ධයේ බාහිර ලක්‍ෂණ පහක් හෙතෙම පෙන්වා දුන්නේය.

ලෙස්ටර් කතෝලික - සුමිත්‍රා බෞද්ධ
ලෙස්ටර් ශාන්ත පීතර - සුමිත්‍රා විශාකා
ලෙස්ටර් එ.ජා.ප. - සුමිත්‍රා සමසමාජ
ලෙස්ටර් මීගමුවේ - සුමිත්‍රා බොරළුගොඩ
ලෙස්ටර් පරංගි - සුමිත්‍රා ආරියසිංහල

පරංගි යන වචනය සමහරු භාවිත කරන්නේ කෙනකු හෝ දෙයක් ගරහන්නටය. කෙනකුගේ හෝ දෙයක වටිනාකම පහත හෙළන්නටය. පරංගි හැදිලා යනුවෙන් මිනිසුන් කොන් කළ රෝගයක් ගැන පැරැන්නන් කියනු අපට ඇසිණි.

කිතු ආගම වැලඳගත් මෙරට ආදි ලාංකික පරම්පරාවල අදත් වෙසෙන අතු අග්ගිස්වල දක්නට ඇති, ලාංකික නොවන යුරෝපීය ලක්ෂණ පරගැති ලක්‍ෂණ ලෙස අපත් ලියා පළ කර ඇත්තෙමු.

අදත් එබඳු පරඥාතීන් එසේ හඳුන්වන්නට ඉදිරිපත්වන මාධ්‍ය කටයුත්තක අපි නොබා යෙදෙමු.

කිතුහිමි ජෙරමියා දිවැසිවරයාට පැවැරූ සේ, වැරැදි හෙළි කරන්නටය නැඟුණු උදුරා දමා සුගුණ ගොඩනඟන්නටය. (ජෙරමියා 1:10)

ලෙස්ටර් සූරීන්ට පරංගියකැයි පවසන්නට සුනිල් ආරියරත්නයන්, ඔහුගේ ආගම - පීරිස් නම, අංක එකට හේතුපාදක කර ගන්නට ඇත. අපේ වැටහීම නම්, කොයි කිතුනුවාගේත් මුල් පරම්පරා ලාංකික බවය. යම් යම් හේතු නිසා කිතු දහම වැලඳගත් මුල් පරම්පරා අනිවාර්යයෙන්ම ලාංකික විය යුතුය. සිංහල ලාංකික හෝ ද්‍රවිඩ ලාංකික විය යුතුය. ඔවුන් බෞද්ධ හෝ හින්දු විය හැකිය.

වත්මන් කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් මේ දිනවල නිතර නිතර පවසන අපේ පදනමත් සිංහල බෞද්ධ සංස්කෘතිය යන්නේ ව්‍යංගාර්ථයත් ඒ ප්‍රත්‍යක්‍ෂය විය යුතුය.

කිසියම් පරම්පරාවක මුල් පුරුක් පවුලක්, කිතු දහම වැලඳ ගැනීමත් සමඟ පෘතුගීසි හා විදේශීය සිරිත් විරිත් සපුරාම වැලඳ ගැනීම ඔවුන් පරගැති වීමේ මුල් හේතුවය.

තාන්න - මාන්න, තනතුරු, දේපළ බඳු වරප්‍රසාද ඔවුනට හිමිවීම තවත් හේතුවක් විය හැකිය.

ඔවුහු සිංහල ආර ඉවතලා යුරෝපීය භාෂාව, ඇඳුම්, කෑමබීම, ගේ‍ෙදාර ඉදිකිරීම්, විලාසිතා මඟින් පරගැති වූවා විය හැකිය. ඔවුන් එසේ පරගැති වූවා පමණක් නොව තම පසු පරම්පරාවලටද ඒ නව සංස්කෘතිය කාවැද්දූහ.

ඒ පරම්පරාවලට මවුබස භාවිතය, සරම ඇඳීම, එල්ලේ ක්‍රීඩා කිරීම අපුල වන්නට ඇත. ඒ සමඟ ඉංග්‍රීසි, කලිසම, ක්‍රිකට්වලට ඔවුන් ඇබ්බැහි වන්නට ඇත.
අප අදත් සමහර කිතුනුවන් පරගැති යැයි පවසන්නේ, ඒ ඉතිහාස කතා ප්‍රත්‍යක්‍ෂ කරගෙන ඇති හෙයිනි.

ලෙස්ටර් ජේම්ස් පීරිස්, එබඳු පරගැති මිනිසකු වුණි නම් ඔහුගෙන්, රේඛාව බිහිවන්නට කිසිදු ඉඩක් නැති බව අපේ කල්පනාවය.

ඔහු සන්දේශයෙන් පරංගි ලක්‍ෂණ සෝපාහාස්‍යයට ලක් කළේය. මත්පැන් බී, සිංහල ස්ත්‍රීන් වැලඳ ගයන කපිරිඤ්ඤා ගී ඊට ඇතුළත් කිරීමෙනි. පරංගි සොල්දාදුවන්ගේ බාල හැසිරීම් දැක්වීමෙනි.

ලෙස්ටර් රේඛාව සඳහා මර්සලින් ජයකොඩි පියනම හා සුනිල් ශාන්ත බඳු දේශහිතෛෂීන්ගේ සේවය ලබා ගත්තේය.

දේශීය භාෂා දෙබස් රුවා ඉන්දීය පන්නයේ බාල චිත්‍රපට මේ රට නිපදවූවන් මැද ලෙස්ටර් රේඛාව මවා වදාළේ දේශීය සිනමා කර්මාන්තයේ වින්නඹු තනතුර සිය කැමැත්තෙන් භාර ගනිමිනි.

මහගමසේකර, අමරදේව සිය කෘතීන් රස කරන තුනපහ ලෙස ලෙස්ටර් භාවිත කළේ ඔහු පරංගි නිසාද?

රේඛාවෙන් අරඹා සන්දේශය ඇතුළු බොහෝ නිර්මාණ සඳහා ඔහු මේ රට සොබා සෞන්දර්ය බද්ධ කර ගත්තේ ඔහු පරංගි නිසාද?

ගම්පෙරළිය, දෙලොවක් අතර, රන්සිළු, ගොළු හදවත, අක්කර පහ, නිධානය බඳු චිත්‍රපටවල ඇති මෙ රට ජාතික අනන්‍යතා අදත් විචාරකයෝ පෙන්වා දෙති. ඒවායේ පරංගි මුහුණුවර ඇති බවට ඒ කිසිවකු පෙන්වා දී නැත.

මෙරට පැවැති ඉන්දීය සිනමා ආකෘතිය ස්වදේශීය කරන පදනම දැමූ ලෙස්ටර් සූරීන් පරංගි නම් සුනිල් ආරියරත්නයන්ගේ ඒ සූත්‍රයට අනුව ඛ්.එ.එ. කන්නන්ගර සූරීන්ද පරංගි විය යුතුය.

ඒ එසේද?

ඔහුගේ ඇඳුමේ, කතාබහේ, ලීලාවේ, හැසිරීම්වල පරංගි පෙනුමක් වීද?

ඔහු මේ රටට මවා දුන් නිදහස් අධ්‍යාපන ක්‍රමයේ...?

ක්‍රිස්තියානි පරපුරක උපත ලැබ ක්‍රිස්තියානි පරිසරවල උගත් ආනන්ද සමරකෝන්, ඊ. ඩබ්ලිව්. පෙරේරා, ආර්.අයි.ටී. අලස්, කාලෝ ෆොන්සේකා, ආරියරත්න සූත්‍රයට අනුව පරංගි විය යුතුය.

ශ්‍රී ලංකා රාණි මෑණියෝ ලියූ, 'මගේ නත්තල දුගියා බත් කන දාය ලියූ මර්සලීන් ජයකොඩි හිමි...?

ඕලු පිපිලා ලියා, වයා, ගැයූ සුනිල් ශාන්ත ....?

කෙටි කලක් හෝ මාතර ශා. තෝමස් විද්‍යාලයේ උගත් කුමාරතුංග මුනිදාස සූරීන්....?

පරංගි යන වදන කෙනකුට එල්ල කරන්නේ... එසේ කරන්නේ ඔහුගේ වටිනාකම අගයන්නට නොවේ. පහත හෙළන්නටය. පරංගි හැදිලා යනුවෙන් වූ රෝග ලක්‍ෂණය ගැන පැරැන්නන් අතර කතාබහ පැතිර යෑම මඟින්ද කෙරුණේ අවමානයක්මය.

මැයි 06 සති අන්ත පුවත් පතක කතුවැකියක්, ලෙ. ජේ. පීරිස් මහතා හඳුන්වා තිබුණේ මෙරට ජාතික ලකුණක් ලෙසය. ඔහුගේ සිංහලකම ගැන සඳහන් කරමිනි.

කෙනකුගේ ජානමය ගති සොබා ඇත්තේ ඔහුගේ ඇඳුමේ හෝ කතා කරන භාෂාවේද? බුදුහිමි පවසා ඇත්තේ කෙනකුගේ හරි පෙනුම ඇත්තේ ඔහුගේ ක්‍රියාවල බවය.

කිතු හිමි පවසා ඇත්තේ වචන හෝ කතාවෙන් නොව අන්‍යයන්ට දක්වන ප්‍රේමයෙන් බවය.

සුනිල් ආරියරත්න සූරීන්ට 'පසන් කන්තාරු' කෘතිය ලියා පළ කළ හැකිවූයේද ඔහු පරංගි ලෙස හඳුන්වන ජන කොටස මෙරටට පැමිණි නිසාය.
2018-04-30 ස්වාධීන රූපවාහිනියේ ‍ෙදාරමඬලාවට සහභාගි වූ කෙනකු ලෙස්ටර් සූරීන් හැඳින්වූයේ මෙරට උපන් යුගපුරුෂයන් හතර දෙනාගෙන් කෙනකු ලෙසය.

මාර්ටින් වික්‍රමසිංහ, ඡ්.අ.සරත්චන්ද්‍ර, අමරදේව යන සූරීහු ඉතිරි තිදෙනාය.

ඒ යුගපුරුෂ හතරනමගෙන් දෙදෙනකුම ශාස්ත්‍ර හදාරා තිබුණේ බම්බලපිටිය ශා. පීතරයේය. අමරදේව මව වුව කිතුනු කාන්තාවක විය.

ලෙස්ටර් හැමදා කිතුනු වූ අතර ඉයුස්ටස් රෙජිනෝල්ඩ් ද සිල්වා (පසුව ඡ්.අ.සරත්චන්ද්‍ර) ද මුලින් කිතුනුවකු විය.

සිරිල් එ‍ෙ¾ඩ්රමුල්ල

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon