අපේ ඔක්කොම ඉන්නේ ආණ්ඩු විරෝධී මහින්ද කල්ලියේ -ඒකාබද්ධ විපක්‍ෂයේ මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි කාංචන විජේසේකර

  👤  3615 readers have read this article !
By mawbima 2018-05-27

ඒකාබද්ධ විපක්‍ෂය මොන තරම් විරෝධතා උද්ඝෝෂණ පැවැත්වුවද වත්මන් ජාතික ආණ්ඩුව කිසි කරදරයක් නොමැතිව කොහොම හරි ගමන් කරනවා නේද?

මේ ආණ්ඩුව කිසිම කරදරයක් නොමැතිව යහතින් යනවා කියන එක පිළිගන්න බැහැ. විපක්‍ෂ නායක ධුරය දරන දෙමළ ජාතික සන්ධානය මේ ආණ්ඩුවේ අණ පනත් සම්මත කර ගැනීම සඳහා දිගටම සහාය ලබා දෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ 23 දෙනකු පමණ තවමත් ආණ්ඩුවට සහයෝගය ලබා දෙනවා. 16 දෙනකු ආණ්ඩුවෙන් ඉවත් වෙලා විපක්‍ෂයේ අසුන්ගෙන තිබෙනවා. පළාත් සභා මැතිවරණය කල් දාන්න අවශ්‍ය පනත සංශෝධන කරන වේලාවේ ජනතා විමුක්ති පෙරමණත් දෙමළ ජාතික සන්ධානයත් ආණ්ඩුවට සහයෝගය ලබා දුන්නා. දෙමළ ජාතික සන්ධානය සහ ජනතා විමුක්ති පෙරමුණ සිදු කරන්නේ ආණ්ඩුවේ අවශ්‍යතාවයි. ඩුප්ලිකේට් විපක්‍ෂය නැත්නම් ආණ්ඩුවේම නිල විපක්‍ෂය කියලයි ඔවුන් හඳුන්වන්නේ. මේ ආණ්ඩුවට තුනෙන් දෙකක බලය නැති වෙලා තියෙනවා. දෙමළ ජාතික සන්ධානය, ජනතා විමුක්ති පෙරමුණත් එක්ක එකතු වෙලා තමයි මේ ආණ්ඩුව මේ වනවිට කොහොම හරි අටවගෙන යන්නේ. පෙබරවාරි 10 වැනිදා පළාත් පාලන මැතිවරණයෙන් රටේ අතිබහුතරයක් පොදු මහජනතාව පෙන්වා දීලා තියෙනවා මේ ආණ්ඩුව යන්නේ යහතින් නොවේ කියලා.

නමුත් මේ ආණ්ඩුවේ තීරණවලින් රටේ ජනතාව විශාල වශයෙන් පීඩා විඳින බව ප්‍රකාශ කළා. එහෙනම් වගකිව යුතු විපක්‍ෂයක් විදියට මේ ආණ්ඩුවට තවදුරටත් ගමන් කරන්න ඉඩ ලබා දෙනවාද?

නැහැ. ලැබෙන පළමු අවස්ථාවේදීම මේ ආණ්ඩුව පෙරළීමට අවශ්‍ය හැමදේම ඒකාබද්ධ විපක්‍ෂය විදියට අපි කරනවා. නමුත් 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් ව්‍යවස්ථා උගුලක අපි හිර වෙලා ඉන්නවා. අගමැතිතුමා ඉවත් කිරීමේ ක්‍රමවේදය 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ පැහැදිලිව සඳහන් වෙලා නැහැ. අගමැතිට පිස්සු හැදුණත් ඉවත් කරන්න බැරි තත්ත්වයක් තමයි තියෙන්නේ. ජනාධිපතිතුමාගේ බලතල අඩු කරලා අගමැතිගේ බලතල වැඩි කිරීමක් තමයි සිදු කරලා තියෙන්නේ.

ලැබෙන පළමු අවස්ථාවේදී ආණ්ඩුව පෙරළන බව ඔබ ප්‍රකාශ කළා. ජනාධිපතිවරණය ප්‍රකාශ කිරීමට තව තියෙන්නේ මාස 17යි. ඔය කෙටි කාලය තුළ ඔබ කියන පළමු අවස්ථාව ලැබේවිද?

අවස්ථාව ලැබුණොත් ඒ දේ කරනවා.

අවස්ථාව ලබා ගන්න උත්සාහ කරන්නේ නැද්ද?

ඒකාබද්ධ විපක්‍ෂය ඒ දේ දිගටම සිදු කරනවා. රට හා ජනතාව වෙනුවෙන් විපක්‍ෂයේ නියම භූමිකාව සිදු කරන්නේ ඒකාබද්ධ විපක්‍ෂය පමණයි. අපේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ට එරෙහිව කොතරම් දේශපාලන පළිගැනීම් සිදු කළත් අපේ සටන අප නවත්වන්නේ නැහැ.

ඒකාබද්ධ විපක්‍ෂයේ අලුත්ම සටන කුමක්ද?

කාලීනව රට හා රටේ පොදු මහජනතාව මුහුණපාන ගැටලු දිගින් දිගටම පාර්ලිමේන්තුව තුළත් ඉන් පිටතදීත් කතා කළේ ඒකාබද්ධ විපක්‍ෂය පමණයි. පළාත් සභා මැතිවරණය කඩිනමින් ලබා ගැනීම ගැන මේ අවස්ථාවේදී අපි වැඩි අවධානයක් යොමු කර තිබෙනවා. උතුරු මැද, සබරගමුව හා නැඟෙනහිර පළාත් සභා තුනෙහි මැතිවරණය පැවැත්වීමට නියමිතව තිබුණේ පසුගිය සැප්තැම්බර් මාසයේදී. මාස 8ක් ගත වෙලත් ඒ මැතිවරණය පැවැත්වීමට ආණ්ඩුවේ කිසිදු සූදානමක් නැහැ. තව මාස 4කින් පමණ තවත් පළාත් සභා 3ක නිල කාලය අවසන් වෙනවා. මේ සැප්තැම්බර් වෙනකොට පළාත් සභා 6ක මැතිවරණය පැවැත්විය යුතුයි. ඡන්දවලට බයේ ආණ්ඩුව මැතිවරණ කල්දානවා. ස්වාධීන මැතිවරණ කොමිසමෙනුත් ඡන්දය පැවැත්වීමේ බලය ආණ්ඩුව උදුරාගෙන. ඒ නිසා පළාත් සභා මැතිවරණ කඩිනමින් පැවැත්වීම සඳහා ආණ්ඩුවට බල කරන වැඩසටහන් කිහිපයක්ම අපි දියත් කරනවා. සමහර විට මේ යන විදියට මේ ආණ්ඩුව මුලින්ම ලබාදෙන මැතිවරණය වශයෙන් ජනාධිපතිවරණය හඳුන්වන්න පුළුවන්. 2019 වසරේ අග වනවිට ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කළ යුතුයි. ජනාධිපතිවරණයේදී මේ රටේ ආණ්ඩු බලය අපි අනිවාර්යයෙන්ම වෙනස් කරනවා.

ඔබ කියන්නේ පළාත් සභා මැතිවරණත් කල්දාලා මේ ආණ්ඩුව මුලින්ම ජනාධිපතිවරණය පවත්වයි කියලද?

මට හිතෙන දේ නොවෙයි මම කියන්නේ. මේක මේ රටේ ජනතාවට හොඳින්ම පෙනෙන දෙයක්. පළාත් පාලන මැතිවරණය පවත්වන්නේ නැතිව අවුරුදු 3ක් කල් දැමීමට මේ ආණ්ඩුව ක්‍රියා කළා. පළාත් සභා මැතිවරණ ක්‍රමය වෙනස් කිරීම සඳහා කියමින් යෝජනාවක් ගෙනැල්ලා පළාත් සභා මැතිවරණය කල්දැම්මේ මේ ආණ්ඩුවයි. ඒ සඳහා ආණ්ඩුවේ නිල විපක්‍ෂය වශයෙන් කටයුතු කරනු ලබන දෙමළ ජාතික සන්ධානය සහ ජනතා විමුක්ති පෙරමුණ සහාය ලබා දුන්නා. ඒකට මුළු පාර්ලිමේන්තුවෙන්ම විරුද්ධ වුණේ ඒකාබද්ධ විපක්‍ෂය පමණයි.

පළාත් සභා මැතිවරණ මෙසේ දිගින් දිගටම කල් තබනවා නම් අධිකරණමය ක්‍රියාමාර්ගවලට යන්න පුළුවන් නේද?

පළාත් පාලන මැතිවරණය කල්දමපු වෙලාවේ ඊට එරෙහිව මාතර දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන 16ක සභාපතිවරුන් හා ගාල්ල දිස්ත්‍රික්කයෙන් පළාත් පාලන ආයතන කිහිපයකම නියෝජිතයන් පළාත් පාලන මැතිවරණය කල් දැමීමට එරෙහිව ශේ‍ර්ෂ්ඨාධිකරණයට ගියා. ඒ නඩුව පළාත් පාලන මැතිවරණය කල්දාලා අවුරුදු දෙකහමාරක් වෙනතුරුම ඇහුවා. පළාත් පාලන මැතිවරණය දැන් ඉවර වෙලා මාස කිහිපයක්ම ගත වෙනවා. මේ දක්වා නඩුවේ තීන්දුවක් අපට ලබා දීලා නැහැ. පළාත් සභා මැතිවරණය කල් දැමීම සඳහා කාන්තා නියෝජනයක් ඇතුළත් කරලා සංශෝධනයක් ඉදිරිපත් කළේ කාරක සභා අවස්ථාවේදී. එතකොට අපිට අධිකරණයට යන්න විදියක් නැහැ. මේ ආණ්ඩුව රටට, ජනතාවට අහිතකර සියලුම සංශෝධන ගෙන එන්නේ කාරක සභා අවස්ථාවේදී. එතකොට අධිකරණයට යන්න බැහැ. මේක දැන් අධිකරණය හා ව්‍යවස්ථාදායකය අතර ගැටුමක් බවටත් වර්ධනය වෙලා තියෙනවා. මේ වගේ ප්‍රජාතන්ත්‍ර විරෝධී ආකාරයෙන් වැඩ කරන ආණ්ඩුවක් වගේම පාර්ලිමේන්තුවක් මීට පෙර තිබිලා නැහැ. ඒක නිසා පළාත් සභා මැතිවරණය කල්දැමීමට එරෙහිව අධිකරණයට ගියොත් ඒ නඩුව අහන්න පටන් ගන්නම තව අවුරුදු දෙකක්වත් යාවි.

මේ සඳහා පාර්ලිමේන්තුව මඟින් විසඳුමක් ලබා ගැනීමට අදහස් කරන්නේ නැද්ද?

මැතිවරණ කල්දැමීමට එරෙහිව පාර්ලිමේන්තුව හරහා විසඳුමක් ලබා ගන්න තමයි අපි හැම විටම උත්සාහ ගන්නේ. නමුත් පාර්ලිමේන්තුවේ කථානායකතුමා වැඩ කරන්නේ ජනාධිපතිතුමාත්, අගමැතිතුමාත් උපදෙස් දෙන ආකාරයට. විපක්‍ෂ නායක ආර්. සම්පන්දන් මහතා කටයුතු කරන්නෙත් ආණ්ඩුව කියන ආකාරයට. විපක්‍ෂයේ ප්‍රධාන සංවිධායක, ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා කටයුතු කරන්නෙත් ආණ්ඩු පක්‍ෂයෙන් ලැබෙන උපදෙස් අනුවයි. මෙවැනි තත්ත්වයක් මත මෙම ගැටලුවට පාර්ලිමේන්තුවෙනුත් විසඳුමක් ලැබේවි කියලා හිතන්න අමාරුයි.

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ කාලය අවුරුදු 4 1/2ක් දක්වා දීර්ඝ කිරීමට 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් සිදුකර තිබෙනවා. ඒ වගේම අග්‍රාමාත්‍යවරයා ඉවත් කරන නිසි ක්‍රමවේදයක් 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ නැතිලු. එතකොට සරත් වීරසේකර මහතා හැරෙන්න ඒකාබද්ධ විපක්‍ෂය නියෝජනය කරනු ලබන සියලුම දෙනා 19ට ඡන්දය ලබාදුන්නා නේද?

මම ඒ වෙලාවේ පාර්ලිමේන්තුව නියෝජනය කරලා තිබුණේ නැහැ. නමුත් ඔබ කිව්ව විදියට සරත් වීරසේකර මහතා හැරෙන්නට එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සියලුම දෙනා 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට පක්‍ෂව ඡන්දය ප්‍රකාශ කළා. මේ සඳහා පක්‍ෂව ඡන්දය ප්‍රකාශ කරන්න කියලා ඉල්ලා සිටිය මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයාවත් දැනගෙන හිටියේ නැහැ 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ තිබුණු කරුණු පිළිබඳව. මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා මේ 19 සම්මත වුණාට පසුව තමයි දැන ගත්තේ ජනාධිපති ධුර කාලයත් වසරකින් අඩුවෙලා කියලා. අගමැතිට සිහිය විකල් වුණත් 19ට අනුව ඉවත් කරන ක්‍රමවේදයක් නැහැ. අය - වැයක් පරාජය වුණත් පාර්ලිමේන්තුව ඇතුළෙන්ම තව ආණ්ඩුවක් පිහිටුවනවා හැරෙන්නට පාර්ලිමේන්තු මහ මැතිවරණයකට යෑමට ක්‍රමවේදයක් නැහැ. නමුත් මේවා පෙන්වන්නේ නැතිව 19න් පෙන්නුවේ ස්වාධීන කොමිෂන් සභා ශක්තිමත් කරනවා කියන කරුණු පිළිබඳව පමණයි. රනිල් වික්‍රමසිංහ මහතාට දිගටම එක්සත් ජාතික පක්‍ෂයේ නායක ධුරයේ රැඳී සිටීමට කෘත්‍යාධිකාරි මණ්ඩලයේ නීති සකස් කළා වගේ තමයි දිගටම අගමැතිකම රැකෙන විදියට 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධයත් සකස් කරලා තියෙන්නේ. එක්සත් ජාතික පක්‍ෂයේ ව්‍යවස්ථාව නිර්මාණය කරපු කණ්ඩායම තමයි 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයත් සකස් කරලා ඇත්තේ. 19 ගෙනාවේ කොළේ වහලා ගහලා. නියමාකාරයෙන් දැනුවත් වීමක් සිදු කළා නම් එදා 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පරාජයට පත් වෙනවා.

පාර්ලිමේන්තුවේ අණ පනත්, නියෝග, සංශෝධන සම්මත කිරීමට පෙර පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් මේවා හොඳට කියවලා ඒ ගැන සූදානම් වෙන්නේ නැද්ද?

බොහෝ අණ පනත් කියවනවා. නමුත් මේ ආණ්ඩුව කියන පනත නොවෙයි ගෙනෙන්නේ. කාරක සභා අවස්ථාවේ සංශෝධන එක් කිරීමේදී තමන්ට ඕනෑම සංශෝධනයක් මේ ආණ්ඩුව විසින් සිදු කරනු ලබනවා. පෙර දැනුම්දීමකින් තොරව අවසන් මොහොතේදී ගෙන එනු ලබන සංශෝධන සම්බන්ධයෙන් අධිකරණයට යෑමට ප්‍රමාණවත් වේලාවක් ලැබෙන්නේ නැහැ.

එවැනි පනත් සම්මත කරගත් බවට ඔප්පු කළ හැකි සාක්‍ෂි තිබෙනවාද?

අපොයි ඔව්. 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය, පළාත් පාලන මැතිවරණයට ගෙනාපු සංශෝධන, පළාත් සභා මැතිවරණය කල්දාන්න ගෙන එන ලද සංශෝධන, අධිකරණ සංවිධාන පනත් කෙටුම්පත මේවාට හොඳම උදාහරණයි.

ඔබ කියන්නේ බරපතළ කාරණයක්. ඔබ එය කියන්නේ වගකීමකින්ද?

ඔව්. මම කියන හැම දෙයක්ම කියන්නේ ඉතා වගකීමකින්.

ඒ කියන්නේ පාර්ලිමේන්තුවේ අණ පනත් සම්මත කර ගන්නේ බොරු කරලා නීති විරෝධී ආකාරයට කියලද ඔබ චෝදනා නඟන්නේ?

ඔව්. මේ අසාධාරණය ගැන කථානායකවරයාට අපි කිහිප අවස්ථාවක්ම පැමිණිලි කර තියෙනවා. මේ ගැන මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමාත් දැනුවත් කරලයි තියෙන්නෙ. මේ ආණ්ඩුව ගැන අන්තර් පාර්ලිමේන්තු සංගමයට පැමිණිලි කරලයි තියෙන්නේ. පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝගවල පැහැදිලිව සඳහන් වෙලා තියෙනවා මන්ත්‍රිවරු 21කට වැඩි පිරිසකට ඕනෑම අවස්ථාවක නැඟිටලා රටේ එවැනි වැදගත්කමකින් යුත් ප්‍රශ්නයක් ගැන පාර්ලිමේන්තුවේ අවධානය යොමු කරන්න පුළුවන්. ඇති වී තිබෙන කාලගුණික විපර්යාස හේතුවෙන් අවතැන් වී සිටින ජනතාව ගැන කතා කිරීමට, ගංවතුර, නාය යෑම් ගැන කතා කිරීමට ඒකාබද්ධ විපක්‍ෂය විසින් පාර්ලිමේන්තු විවාදයක් ඉල්ලා සිටියා. ඒකාබද්ධ විපක්‍ෂයේ මන්ත්‍රිවරුන් 30 දෙනකු පමණ නැඟී සිටිමින් මෙම ඉල්ලීම සිදු කරන විට ජාතික ආණ්ඩුවෙන් ඉවත් වී සිටින 16 දෙනාගේ කණ්ඩායමේ නියෝජිතයන්ගේ සහායත් අපට හිමි වුණා. කෙතරම් ඉල්ලුවත් එම විවාදය ලබා දීමට කථානායකවරයාත්, ආණ්ඩු පක්‍ෂයත් කටයුතු කළේ නැහැ.

නමුත් කථානායක කරු ජයසූරිය මහතා පැහැදිලිව ප්‍රකාශ කළා නේද පක්‍ෂ නායක රැස්වීමේදී එකඟ වූ තීරණයකට අනුව තමා කටයුතු කළා කියලා?

පක්‍ෂ නායක රැස්වීමට වඩා බලවත් වෙන්නේ මැතිසබය තුළ ජනතා නියෝජිතයන් කරනු ලබන ඉල්ලීම. ඒ වගේම පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග හා සම්ප්‍රදාය අනුව පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් නැඟිටලා කරපු ඉල්ලීමට කථානායකතුමා අවධානය යොමු කළ යුතුව තිබුණා. නමුත් එහෙම වුණේ නැහැ. අද පාර්ලිමේන්තුව තනිකරම කටයුතු කරන්නේ ඒකාධිපති පාලනයක්. පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය ඩෝසර් කරගෙන ඒකාධිපති ගමනක් අද මේ ආණ්ඩුව යන්නේ. මහ ලොකුවට බි්‍රතාන්‍ය පාර්ලිමේන්තු සම්ප්‍රදාය ලිච්ඡවී පාලන ක්‍රමය ගැන බණ කියන ආණ්ඩුව පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය අද ඩෝසර් කරගෙනම යනවා. 2015 ජනවාරි 09 වැනිදා මෛත්‍රිපාල සිරිසේන මහතා ජනාධිපති ධුරයේ දිවුරුම් දීලා පාර්ලිමේන්තුවේ 42ක් මන්ත්‍රිවරුන් ඉන්න රනිල් වික්‍රමසිංහ මහතාට අගමැතිකම ලබා දෙනවා. එතැන ඉඳලා තවම සිදු වෙන්නේ පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කරමින් යන ඒකාබද්ධ පාලනයක්. පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය බුල්ඩෝසර් කරගෙන යනවා.

ඔබ නියෝජනය කරන්නේ ඒකාබද්ධ විපක්‍ෂයේ කුමන කල්ලියද?

ඒකාබද්ධ විපක්‍ෂයේ කිසිම කල්ලියක් නැහැ. අපට තියෙන්නේ එකම එක කල්ලියයි. ඒ හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමා නායකත්වය ලබාදෙන ආණ්ඩු විරෝධී එකම එක කල්ලියයි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඇතුළු දේශපාලන පක්‍ෂ රැසක් හා විවිධ සංවිධාන සේරම අයත් වෙන්නේ මේ එකම එක කල්ලියට පමණයි.

නමුත් එක්සත් ජාතික පක්‍ෂයේ මහ ලේකම්, අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා ප්‍රකාශ කරන්නේ මහින්ද කල්ලිය, ගෝඨා කල්ලිය, බැසිල් කල්ලිය කියලා ඒකාබද්ධ විපක්‍ෂය කල්ලි කිහිපයකටම කැඩිලා කියලා?

දේශපාලන වශයෙන් අද හතර පැත්තෙන්ම වැටිලා ඉන්න එක්සත් ජාතික පක්‍ෂය ඔය වගේ කතා කියයි. බොරු ප්‍රචාර කරයි. මඩ ගහයි. නමුත් මේ රටේ ජනතාව ඒ බොරුවලට රැවටෙන්නේ නැහැ. දැනටමත් එක්සත් ජාතික පක්‍ෂයේ මඩ ෆැක්ටරිය වැඩ පටන් අරගෙන. ඒකාබද්ධ විපක්‍ෂයට මුලින්ම හිටියේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් 41 දෙනයි. එතකොට එක්සත් ජාතික පක්‍ෂය කිව්වේ මේ අය ආණ්ඩුවට එකතු වෙයි කියලා. අන්තිමේදී ඒකාබද්ධ විපක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් සංඛ්‍යාව 54 දක්වා වැඩි වුණා. ආණ්ඩුවෙන් 16ක්ම ඉවත් වුණා. ඔවුන් පාර්ලිමේන්තුවේදී ඒකාබද්ධ විපක්‍ෂය සමඟ සහයෝගයෙන් වැඩ කරනවා. එතකොට අපේ කණ්ඩායම දැන් 70ක් වෙලා. තව කට්ටිය අපිට එකතු වෙනවා. අද වෙනකොට එක්සත් ජාතික පක්‍ෂයත් බෙදිලා. ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයත් බෙදිලා. බෙදීමක් නොමැතිව තව තව ශක්තිමත් වී ඉදිරියට ගමන් කරන්නේ මහින්ද රාජපක්‍ෂ මැතිතුමාගේ නායකත්වයෙන් යුතු ඒකාබද්ධ විපක්‍ෂය පමණයි. ඊට අමතරව ආණ්ඩුවේ දේශපාලන පක්‍ෂ අතර යම් යම් බෙදීම් මතු වෙලා. දෙමළ ජාතික සන්ධානයෙත් බෙදීම් තියෙනවා. ජනතා විමුක්ති පෙරමුණෙත් අළු යට ගිනි පුපුරු මතු වීමට පටන් අරගෙන. බෙදීම් නැති එකම දේශපාලන බලවේගය මහින්ද රාජපක්‍ෂ හිටපු ජනාධිපතිතුමාගේ නායකත්වයෙන් යුතු ඒකාබද්ධ විපක්‍ෂය පමණයි.

ඒකාබද්ධ විපක්‍ෂය ඇතුළු මෙම බලවේගයේ ජනාධිපති අපේක්‍ෂකයා කවුද? ගෝඨාභය රාජපක්‍ෂ මහතාද? බැසිල් රාජපක්‍ෂ මහතාද? චමල් රාජපක්‍ෂ මහතාද? එහෙමත් නැත්නම් වෙනත් කෙනකුද?

2020 ජනාධිපතිවරණයට අපේ ජනාධිපති අපේක්‍ෂකයා තෝරා ගන්නේ ඒකාබද්ධ විපක්‍ෂය ඇතුළු අපේ සියලුම බලවේග නියෝජනය කරන පක්‍ෂ නායකයන් හා හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමා සාකච්ඡා කරලයි. මහින්ද රාජපක්‍ෂ මැතිතුමාගේ ආශීර්වාදයෙන් තමයි අපේ අපේක්‍ෂකයා නම් කරන්නේ. මහින්ද රාජපක්‍ෂ මැතිතුමා නම් කරනු ලබන ජනාධිපති අපේක්‍ෂකයා දිනවීමට අප සියලුම දෙනා කැපවෙනවා. 2020 ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කළාට පසුව අපේ වැඩ අපි පටන් ගන්නවා.ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට ඉතා සුදුසු අපේක්‍ෂකයන් රැසක්ම අපේ කණ්ඩායමේ ඉන්නවා. අපේක්‍ෂකයෙක් හොයා ගන්න බැරුව අසරණ වෙලා ඉන්නේ එක්සත් ජාතික පක්‍ෂයයි.

විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම සඳහා 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව ජනතා විමුක්ති පෙරමුණ ප්‍රකාශ කරනවා.

එම පක්‍ෂයේ ඇතැම් මන්ත්‍රිවරුන් කියනවා 20ට සහාය ලබා දුන්නොත් මහින්ද රාජපක්‍ෂ මහතාටත් යම් දේශපාලන වාසියක් ඇති වෙයි කියලා. මොකද කියන්නේ?

20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ඉදිරිපත් කිරීමට අනුර කුමාර දිසානායක මහතා කටයුතු කරන්නේ රනිල් වික්‍රමසිංහ අගමැතිතුමාගේ ඉල්ලීමක් වෙනුවෙන්.

පාර්ලිමේන්තුවේ විපක්‍ෂයේ ප්‍රධාන සංවිධායක ලෙස අනුර කුමාර දිසානායක මහතා පත්කර තිබෙන්නේ රනිල් වික්‍රමසිංහ අගමැතිතුමා. ඒ සඳහා ප්‍රතිඋපකාරය තමයි අනුර කුමාර දිසානායක මහතා 20 ගෙනැල්ලා කරන්න හදන්නේ. ජනාධිපතිවරණය කල්දාගන්න 20 ගෙනැල්ලා යම් උප්පරවැට්ටියක් කරන්න හදනවා යැයි කියන සාධාරණ සැකය අපට මතුවෙලා තියෙනවා. ජනතා විමුක්ති පෙරමුණ පසුගිය කාලය තුළ පාර්ලිමේන්තුවේ කටයුතු කළ ආකාරයට මේ හදන්නේ රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් ශක්තිමත් කිරීමටයි. පළාත් සභා මැතිවරණය කල් දැමීම සඳහා අවශ්‍ය සංශෝධනය සඳහා ජනතා විමුක්ති පෙරමුණ ඡන්දය ලබා දුන්නා. 20 කොහොම හරි සම්මත කරගන්න ඕන නිසා දැන් මහින්ද රාජපක්‍ෂ මැතිතුමා ගැන අනුකම්පාවක් ඇති වෙලා ජනතා විමුක්ති පෙරමුණ කිඹුල් කඳුළු හෙළනවා. නමුත් ජනතා විමුක්ති පෙරමුණේ තවමත් ප්‍රධාන සතුරා මහින්ද රාජපක්‍ෂ මහතායි. ඒක අපි හොඳට තේරුම් අරගෙනයි ඉන්නේ. මහින්ද රාජපක්‍ෂ මැතිතුමාගේ ආශීර්වාදය හිමිවන ඕනෑම කෙනකු ජනාධිපති ධුරයට පත්වන නිසා එය වළක්වාලීමටයි ජනතා විමුක්ති පෙරමුණ 20 ගෙන එන්නේ.

ජාතික ආණ්ඩුවෙන් ඉවත් වූ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ 16 කණ්ඩායම කියනවා ඉක්මනින්ම ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ ආණ්ඩුවක් හදනවා කියලා. එහෙම වුණොත් ඔබලා ඊට සහාය ලබා දෙනවාද?

මේ ආණ්ඩුව පරාජයට පත් කරන්න ඕනෑම කණ්ඩායමකට ඒකාබද්ධ විපක්‍ෂය සහයෝගය ලබා දෙනවා. ඒ ආණ්ඩුවේ තනතුරු නොගෙන ආණ්ඩුව පවත්වාගෙන යෑමට යම් යම් කොන්දේසි යටතේ සහයෝගය ලබා දෙනවා. එ.ජා.ප. ආණ්ඩුවක් පත් වුණොත් අපි කියන්නේ ජනතාවට යම් සහනයක් ලබාදීලා ඉන් පසුව පාර්ලිමේන්තු මහ මැතිවරණයකට යන්න කියලා. ඒ වගේම මහින්ද රාජපක්‍ෂ මැතිතුමාගේ නායකත්වය යටතේ වැඩ කිරීමට එම 16 දෙනාගේ කණ්ඩායම එකඟ විය යුතුයි.

ඩබ්ලිව්.කේ. ප්‍රසාද් මංජු

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon