දරණාගම කුසලධම්ම නාහිමි ගුණානුස්මරණ පින්කම් පොසොන් පොහෝදා සිට...

  👤  3562 readers have read this article !
By mawbima 2018-05-27

බෞද්ධයා මාධ්‍ය ජාලයේ සභාපති සහ කොළඹ 07 ශ්‍රී සම්බෝධි විහාරස්ථානයේ විහාරාධිපතිව වැඩ සිටි අපවත්වී වදාළ පූජ්‍ය දරණාගම කුසලධම්ම නා හිමියන්ගේ තෙමස් පූර්ණය ජුනි 03 වැනි දිනට යෙදී තිබේ.

ඒ නිමිත්තෙන් ගුණානුස්මරණ පින්කමක් සහ රටට, ජනතාවට හා විහාරස්ථ දායක දායිකාවන්ට සෙත්පතා මෙම 29 වැනි දින එනම් අධි පොසොන් පුර පසළොස්වක දින පෙරවරු 5.00 සිට රාත්‍රි 8.00 දක්වා පින්කම් මාලාවක් ඓතිහාසික කැලණි රජමහ විහාරස්ථාන පරිශ්‍රයේදී පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇත.

පෝය සජීවී වැඩසටහන් මාලාව, කිරි ආහාර පාත්‍ර 1008, උදෑසන සත්බුදු පූජාව, වෑංජන 1008කින් සමන්විත දහවල් බුද්ධ පූජාව, ඔෟෂධ වර්ග 1008කින් සමන්විත මහා ඔෟෂධ පූජාව, ගුවනින් මල් ඉසීම, කන්චුක පූජාව, විදුලි ආලෝක පූජාව, අටපිරිකර 1000ක් පූජා කිරීම, පුෂ්ප පූජාව, සුවඳ දුම් පූජාව, සේසත් මුරායුධ පූජා කිරීම, පහන් 1000ක ආලෝක පූජාවක් මෙම පින්කම් මාලාවට අනුව සිදු කිරීමට නියමිතය.

පෝය සජීවී වැඩසටහන් මාලාවට අනුව චෛත්‍ය මළුව තුළ විශේෂයෙන් සකස් කරන මණ්ඩපයක ස්වාමින් වහන්සේලා වඩාහිඳුවා පෙ.ව. 6.00 සිට රාත්‍රි 8.00 දක්වා භාවනා වැඩසටහන් සහ ධර්ම දේශනාවන් සිදු කෙරෙන අතර ප.ව. 1.00 සිට ප.ව. 3.00 දක්වා ශ්‍රී සම්බෝධි විහාරාධිපති බෞද්ධයා නාළිකාවේ සභාපති පූජ්‍ය බොරලන්දේ වජිරඤාණ නාහිමිපාණන් වහන්සේ, විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතාගේ සහ 'හෙළ සුවය' නිර්මාතෘ ප්‍රියන්තා සේනානායක මහත්මියගේ සහභාගිත්වයෙන් වෛද්‍ය සාකච්ඡාවක්ද පැවැත්වේ.

මීට අමතරව වත්මන් ශ්‍රී සම්බෝධි මහා විහාරාධිපති බෞද්ධයා නාළිකාවේ සභාපති පූජ්‍ය බොරලන්දේ වජිරඤාණ නාහිමියන්ගේ අනුශාසකත්වයෙන් ශ්‍රී සම්බෝධි විහාරස්ථානයේදී මැයි 30 වැනිදා සිට ජුනි 02 වැනිදා දක්වා රාත්‍රි 7.30ට සජීවී ධර්ම දේශනා මාලාවක් ශ්‍රී 11.00ට 200 නමක් විෂයෙහි දහවල් සංඝගත දක්ෂිණාවක් සහ ත්‍රිපිටක ග්‍රන්ථ පූජාවක් සිදු කිරීමට කටයුතු යොදා තිබේ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon