වගේ වගක් නැති පරිසර හානියෙන් රටම දෝරෙ ගිය ගංවතුර උවදුර

  👤  3790 readers have read this article !
By mawbima 2018-05-27

වසර එකහමාරකට වැඩි කාලයක් දිය පොදක් නොමැතිව අනේක දුක් ඉහිලූ ගොවියන්ගේ බලාපොරොත්තුව නිරිත දිග මෝසමය. නිරිත දිග මෝසම සක්‍රියව ඇත්තේය. ගංගා, වැව් පිටාර යනු දැකිය හැකිය. බොන්නට වතුර නැතිව සැතපුම් ගණනක් ගෙවා ගොසින් කළගෙඩි, බූලි ආදියට වතුර පුරවාගෙන එන්නට සිදුවූ මිනිසුන් පෙළුෑ පීඩාව අවසන්ය. ඉරිතැළී ගිය ජලාශවල පතුල් හාරමින් පොල් කට්ටෙන් මඩ වතුර එකතු කළ මිනිසුන් නියඟයෙන් පීඩා විඳි තරම් කොතෙක්දැයි වැහි දෙකෙන් අමතකය.

දිවයිනේ නිරිත දිග ප්‍රදේශවලට වැසි ගෙනෙන නිරිත දිග මෝසම පසුගිය වසර දෙකේදීම අඩාල වූයේය. ඒ නිසා කුඹුරු අක්කර විශාල ප්‍රමාණයක් පුරන් විය. නිරිත දිග මෝසම සුපුරුදු අයුරින් සක්‍රිය වී ඇත්තේ අවුරුදු දෙකකට පසුවය. නිරිත දිග ප්‍රදේශවලට වසරේ සක්‍රිය වැසි ඇදවැටෙන්නේ මේ කාලයේදී පමණි. ඒ වැස්සෙන් ගංගා, ජලාශ, වැව් ආදිය පිරුණු පසු ගොවි ජනයා වසර පුරාම ගොවිතැන් කටයුතු ඉටු කර කරන්නේය. රට ජීවත් කරන්නේ මේ වැස්සෙන් ලැබෙන ජල සම්පතය.

නියඟය හේතුවෙන් උතුර නැඟෙනහිර ප්‍රදේශ රැසක කුඹුරු හා අනෙකුත් වගාවන් විනාශයට පත්විය. විශේෂයෙන්ම රතු ලූනු වගාවට නියඟයෙන් දැඩි බාධා එල්ල විය. රතු ලූනු හිඟයක්ද රටේ ඇති විය. මේ වනවිටත් නිරිත දිග ප්‍රදේශවල ගොවීන් සිය පුරන් වූ ගොවිබිම් අස්වද්දමින්ය.

මෙසේ නිරිත දිග මෝසම් වැස්ස රටේ එක් පිරිසකට ආශීර්වාදයකි. එහෙත් දිවයිනේ දිස්ත්‍රික් 19ක පවුල් 32,136කට අයත් පුද්ගලයන් එක් ලක්ෂ විසිපන් දහස් නවසිය පනස් හතරක් ජනයා අධික වර්ෂාවත් සමඟ ඇති වූ ජල ගැලීම්, නාය යෑම්, පස් කඳු කඩා වැටීම්, ගස් කඩා වැටීම් ආදී විපත් හේතුවෙන් පීඩාවට පත්වය. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මේ වාර්තා අපට සපයන්නේය.

මේ ලිපිය ලියන මොහොත වන විටත් පුද්ගලයන් 13 දෙනකු අධික වර්ෂාව නිසා ඇති වූ ආපදා තත්ත්වයෙන් ජීවිතක්ෂයට පත්ව ඇත. විපතට පත් ජනතාව අතරින් පවුල් 13,832කට අයත් පුද්ගලයන් 54,205 දෙනකුට උන්හිටි තැන් අහිමිව ගොස්ය. ඔවුන්ගේ නිවාස ජලයෙන් යට වීම නිසා සහන කඳවුරු 251ක ඔවුන් තාවකාලිකව නවාතැන් ගෙන ඇත. හානියට පත් නිවාස සංඛ්‍යාව 43කි. නිවාස 3,225කට අර්ධ වශයෙන් හානි සිදුවී තිබේ. මෙම ආපදා තත්ත්වය බලපා ඇති දිස්ත්‍රික්ක වන්නේ කොළඹ, කළුතර, ගම්පහ, පුත්තලම, කුරුණෑගල, ගාල්ල, මාතලේ, රත්නපුර, බදුල්ල, කෑගල්ල, නුවරඑළිය, මාතර,

හම්බන්තොට, පොළොන්නරුව, මොනරාගල, මුලතිව්, වවුනියාව, යාපනය, මහනුවර දිස්ත්‍රික්කය.

පසුගිය සිකුරාදා වන විට වැඩිම පිරිසක් පීඩාවට පත්ව සිටියේ ගම්පහ දිස්ත්‍රික්කයේය. ගම්පහ, අත්තනගල්ල, ‍ෙදාම්පේ, මිනුවන්ගොඩ, වත්තල, බියගම,

දිවුලපිටිය, මීරිගම, කැලණිය, ජාඇළ, මහර හා කටාන යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල පවුල් 10,099කට අයත් පුද්ගලයන් 42,973ක් විපතට පත්ව සිටියහ. ඒ අතරින් පවුල් 8,195කට අයත් පුද්ගලයන් 33,832ක් සහන කඳවුරු 31ක නවාතැන් ගෙන ඇත. කොළඹ දිස්ත්‍රික්කයේ පවුල් 2,279කට අයත් පුද්ගලයන් 9,347 දෙනෙක්ද කළුතර දිස්ත්‍රික්කයේ පවුල් 937කට අයත් පුද්ගලයන් 3,5 දෙනෙක් ද ගාල්ල දිස්ත්‍රික්කයේ පවුල් 491කට අයත් පුද්ගලයන් 1,816 දෙනෙක්ද කුරුණෑගල දිස්ත්‍රික්කයේ පවුල් 2,150කට අයත් පුද්ගලයන් 7,618 දෙනෙක්ද කෑගල්ල දිස්ත්‍රික්කයේ පවුල් 1,367කට අයත් පුද්ගලයන් 5,166 දෙනෙක්ද මහනුවර දිස්ත්‍රික්කයේ පවුල් 332කට අයත් පුද්ගලයන් 1,471 දෙනෙක්ද නුවරඑළිය දිස්ත්‍රික්කයේ පවුල් 221කට අයත් පුද්ගලයන් 856 දෙනෙක්ද බදුල්ල දිස්ත්‍රික්කයේ පවුල් 126කට අයත් පුද්ගලයන් 526 දෙනෙක්ද මාතර දිස්ත්‍රික්කයේ පවුල් 39කට අයත් පුද්ගලයන් 171 දෙනෙක්ද මුලතිව් දිස්ත්‍රික්කයේ පවුල් 11කට අයත් පුද්ගලයන් 37 දෙනෙක්ද හම්බන්තොට දිස්ත්‍රික්කයේ පවුල් 13කට අයත් පුද්ගලයන් 47 දෙනෙක්ද මාතලේ දිස්ත්‍රික්කයේ පවුල් 14කට අයත් පුද්ගලයන් 45 දෙනෙක් සහ මොනරාගල දිස්ත්‍රික්කයේ එක් පවුලක සාමාජිකයන් තිදෙනකුද මෙසේ පීඩාවට පත්ව සිටින්නෝය.

මේ ලියන මොහොත වන විට කැලණි ගඟ, කළු ගඟ, නිල්වලා ගඟ, ගිං ගඟ පවතින්නේ පිටාර මට්ටමේය. ගංගා අවට පහත් බිම් රැසක්, නිවාස, වගාබිම් ආදිය ජලයෙන් යට වී තිබුණේය. කකුළේ ගඟ, උඩවලව, ලක්ෂපාන, රාජාංගණය, දැදුරු ඔය, තබ්බෝව, කඩුපිටි ඔය, සාලිය වැව, නීලබැම්ම අමුණ ආදී ගංගා, වැව් ජලාශ රැසක ජල මට්ටම ඉහළ ගොස්ය. ජලාශ කිහිපයක් වාන් ‍ෙදාරටු විවර කිරීම නිසාද ප්‍රදේශ කිහිපයකට ජල ගැලීම් ඇති විය. මාර්ග බෝහෝමයක් ජලයෙන් යට වීම නිසා ගමනාගමන කටයුතුද අඩාල විය. දැනට පාසල් කිහිපයක් දින කිහිපයකට වසා දමා ඇත. විදුලි රැහැන් කඩාවැටීම් හා දුරකතන රැහැන් කඩා වැටීම නිසා විදුලි හා සන්නිවේදන කටයුතුද සමහර ප්‍රදේශවල අඩාලවය. වැස්සේ ආන්දෝලනාත්මක ප්‍රතිඵලය එන්නේ කඩුවෙල පාලමින්ය. කඩුවෙල හා බියගම නගර යා කෙරෙන මේ පාලමේ ඇති වූ ඉරි තැළීම් තත්ත්වයක් නිසා දැන් එහි වාහන ගමනාගමනය සීමා කර ඇත්තේය.

මේ අතර පස් කඳු කඩා වැටීම්, නාය යෑම් නිසා දිවයිනේ දිස්ත්‍රික්ක 11කට නාය යෑම් අවදානම් නිවේදන ජාතික ගොඩනැඟිලි පර්යේෂණ ආයතනය විසින් නිකුත් කරන ලදී. රතන්පුර, කළුතර, මහනුවර, කෑගල්ල, මාතලේ, ගම්පහ, බදුල්ල, ගාල්ල, නුවරඑළිය, කුරුණෑගල, ගම්පහ, කොළඹ එම දිස්ත්‍රික්ක 11 වේ. පස් කඳු කඩා වැටීම් නිසා හැටන් - කොළඹ මාර්ගයේ ස්ථාන කිහිපයකම මාර්ගයේ රථවාහන ධාවනයට බාධා සිදු විය. ආපදා තත්ත්වය නිසා දුම්රිය ගමනාගමනයටද ස්ථාන කිහිපයකදී බාධා සිදුවී තිබිණි.

ආපදා තත්ත්වයෙන් විපතට පත් ජනයා මුදා ගැනීම සඳහා ත්‍රිවිධ හමුදා සාමාජිකයන් 5,800කට ආසන්න පිරිසක් යෙදවීය. ජල ගැලීම්වලින් කොටු වූ ජනතාව මුදා ගැනීම සඳහා සහන බෝට්ටු සේවා නාවික හමුදාව මඟින් ක්‍රියාත්මක කෙරිණි. ආපදා කළමනාකරණ අමාත්‍යාංශය දිස්ත්‍රික් ලේකම්වරුන්ට රුපියල් ලක්ෂ 10 බැගින් විපතට පත් දිස්ත්‍රික්ක 19ට මුදල් ලබා දුන්නේය. ජලය බැස ගිය වහාම හානියට පත් නිවාස පිළිසකර කර දීමේ වැඩපිළිවෙළක් හා නිවාස සහනාධාර ලබාදීමට කටයුතු යොදා ඇති බව අමාත්‍යාංශය කීය. මියගිය අයට වන්දි ලබාදීමටද පියවර ගෙන තිබේ. විපතට පත් ජනයාට පිසූ ආහාර හා පානීය ජලය සැපයීමද දිස්ත්‍රික්ක මට්ටමින් ක්‍රියාත්මකය.

අපේ රටේ ආපදා කළමනාකරණ අමාත්‍යාංශය ආරම්භ කළේ ස්වාභාවික විපත්වලින් පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සඳහාමය. ඒ 2004 වර්ෂයේ ඇති වූ සුනාමි ව්‍යසනයෙන් පසුවය. මේ වන විට පුරා වසර 13ක් තිස්සේ මෙම අමාත්‍යාංශය මඟින් සිදු කෙරෙනුයේ ස්වාභාවික විපතක් වූ වහාම ජනතාවට සහන සැලසීමය. ආපදා අවම කිරීම සඳහා යම් යම් වැඩසටහන් දිස්ත්‍රික්ක මට්ටමින් ක්‍රියාත්මක කරන නමුත් වසර 13ක් තිස්සේ සිදුවන විද්‍යානුකූල ආපදා කළමනාකරණයක් ගැන වාර්තා වන්නේ නැත. අනවසර ඉදිකිරීම් නිසා පස් කඳු කඩාවැටීම් ඉහළ ගොස් ඇත. එහෙත් සෑම ඉදිකිරීමකටම මත්තෙන් ගොඩනැඟිලි පර්යේෂණ ආයතනයේ අනුමැතිය ගත යුතු බවට චක්‍රලේඛයක්ද පවතී. වැලි ගොඩදැමීම තහනම් වුවද මහා පරිමාණයෙන් වැලි ගොඩදැමීම සිදුවේ. ගස් කැපීම් තහනම් වුවද වනාන්තර අක්කර ගණන් එළි පෙහෙළි කරමින් ඇත. රටේ ස්වාභාවික සම්පත රැක ගනිමින් ස්වාභාවික විපත් අවම කිරීම සඳහා මනා ශක්තිමත් නීති පද්ධතියක් ඇති නමුත් වැඩ වන්නේ නීතියට උඩින්ය.

වගුරුබිම් උත්තම ආශීර්වාද මධ්‍යයේ ශීඝ්‍රයෙන් ගොඩවෙමින් පවතී, කුඹුරු පුරන් වෙන්නට ඉඩ හැර ඒවා පුරවා අහස උසට මාලිගා තැනේ. නියඟයෙන් පීඩා විඳින ප්‍රදේශවල ජනතාවට වැසි ජලය එක්රැස් කර තබා ගැනීමේ නිසි ක්‍රමවේදයක් නැත. ජලාශවල රොන්මඩ පිරී ඒවායේ රඳවාගත හැකි ජල ධාරිතාව අල්පය. ගංවතුර කාලෙකදී මැතිවරණයක් පවතින්නේ නම් මිස මේ රටේ ආපදා අවම කර ගැනීමට පෙනෙන තෙක්මානයකවත් පැහැදිලි විසඳුමක් නම් නොලැබෙනු ඇත. හැමදාමත් ආපදා කළමනාකරණ අමාත්‍යාංශයට සිදු වන්නේ වඳුරන් ගෙවල් තැනුවා සේ ආපදා කාලයේදී ජනතාව මුදා ගැනීමටය.

තුෂාර කළුබෝවිල

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon