ගිනි පෙට්ටියවත් රැක ගන්න කවුරුත්ම නැද්ද?-කම්හල් 11ක් වැසේ

  👤  3862 readers have read this article !
By mawbima 2018-05-27

ගිනි පෙට්ටිය ගැන ඇසෙන්නට තිබෙන්නේ එතරම් සුබ ආරංචියක් නොවේ. නිවෙසකට නැතුවම බැරි ගිනිපෙට්ටියේ වටිනාකම විදුලි බලය තිබූ පමණින් අඩු වූයේ නැත. ගිනි පෙට්ටි සඳහා වෙළෙඳපොළේ තවමත් ඉල්ලුම නොවෙනස්ව පවතී. ඉල්ලුමේ වෙනසක් නැතත්, අද වනවිට අපේ රටේ ගිනි පෙට්ටි කර්මාන්තය නිවී යෑමට පටන් ගැනීම මේ ලිපිය ලියන්නට ප්‍රස්තුත කාරණය විය.

ගිනි පෙට්ටි නිෂ්පාදනය සඳහා අවශ්‍ය රසායනික ද්‍රව්‍යවල මෙරටට ගෙන්වීමේ පවතින අර්බුදයක් නිසා අද වනවිට ගිනි පෙට්ටි නිෂ්පාදකයන් සිටින්නේ දැඩි අනතුරකය. මේ වනවිට ගිනි පෙට්ටි නිෂ්පාදනය ඇනහිට ඇත. අමුද්‍රව්‍ය කවදා ලැබෙයිද? නිෂ්පාදන කාර්යයක් සිදුවන්නේ නැතිව කර්මාන්තයක් පවත්වාගෙන යන්නේ කෙසේද? කර්මාන්තය ආශ්‍රිත සේවකයන් රඳවා ගන්නේ කෙසේද? ආදායමක් නොමැතිව වියදම් පවත්වාගෙන යන්නේ කෙසේද? ගිනි පෙට්ටි කර්මාන්තකරුවන් මේ දිනවල සිටින්නේ මේ ප්‍රශ්න මැද්දේය.

ගිනි පෙට්ටි නිෂ්පාදනයට පොටෑසියම් ක්ලෝරේට් සහ රතු පොස්පරස් රසායනික ද්‍රව්‍ය අවශ්‍ය වේ. නවතම තත්ත්වයන් හමුවේ ගිනි පෙට්ටි නිෂ්පාදනයට අවශ්‍ය වන අමුද්‍රව්‍යවල ටෙන්ඩර් සඳහා මිල ගණන් ඉදිරිපත් කිරීමේදී ඒවා විවෘත කරන මොහොතේ අමුද්‍රව්‍යවල සාම්පල් ඉදිරිපත් කළ යුතුය. එක් වර්ගයක් කිලෝග්‍රෑම් 2ක ප්‍රමාණයක් ටෙන්ඩර් විවෘත කරන අවස්ථාවේදී ලබා දීමට සිදු වී තිබේ. මෙම ද්‍රව්‍ය වහා ගිනි ඇවිළෙනසුලු ද්‍රව්‍ය බැවින් එවැනි ප්‍රමාණයක සාම්පලයක් ඇතැම් ගුවන් සේවා මඟින් ගෙන ඒමට අවසර දෙන්නේ නැත. එසේම නව නීති අනුව කාර්මික තාක්ෂණික ආයතනයට මේ සාම්පල් යවා පරීක්ෂණ කටයුතු කරවා ගත යුතුය. ඒ සඳහා සති 3-4ක් වැනි දිගු කාලයක් ගත වේ. මීට පෙර අවශ්‍ය අමුද්‍රව්‍යවලට තත්ත්ව සහතිකය දුන්නේ එස්ජීඑස් ආයතනය විසිනි. ඒ අනුව සාම්පල් පරීක්ෂා කිරීමට වැඩි කාලයක් ගත වූයේ නැත. ඉන්පසුව ආරක්‍ෂක අමාත්‍යාංශයේ අනුමැතිය ලබා ගැනීමට, ණයවර ලිපි ලබා ගැනීමට තවත් කාලයක් වැය වේ. ඉන්පසුව රසායනික ද්‍රව්‍යවල තොග ආ පසු යළිත් ඒවා කාර්මික තාක්ෂණ ආයතනයට යවා පරීක්ෂා කළ යුතුය. මේ සියලු කටයුතු සඳහා මාස තුනකවත් කාලයක් ගත වේ.

පොටෑසියම් ක්ලෝරේට් මෙටි්‍රක් ටොන් 200ක් සහ රතු පොස්පරස් මෙටි්‍රක් ටොන් හත හමාරක් ගෙන්වීමට පසුගිය නොවැම්බර් මාසයේ ටෙන්ඩර් කැඳවා තිබේ. එහෙත් තවමත් ඒ අමුද්‍රව්‍ය කර්මාන්තශාලාකරුවන්ට ලැබී නැත.

මීට පෙර තත්ත්ව පරීක්ෂා කළ එස්ජීඑස් ආයතනය යටතේ තත්ත්ව පරීක්ෂා කොට මෙරටට ගෙන්වීම් කරනවා නම් මේ ප්‍රමාදය සිදුනොවන බව ගිනි පෙට්ටි නිෂ්පාදකයන්ගේ අදහසයි. අමුද්‍රව්‍ය ආනයනය කරන ආයතනයෙන් එරට ඇති එස්ජීඑස් ශාඛාවට සාම්පල් යවා සහතිකය ලබා ගනී. ඉන්පසුව එම සහතිකය සමඟ අමුද්‍රව්‍ය මෙරටට එවනු ලබයි. සාමාන්‍යයෙන් සිදුවූ ක්‍රමවේදය වන්නේ එයයි.

එහෙත් අදාළ සහතිකය රැගෙන එස්ජීඑස් වාර්තාව යටතේ රසායනික ද්‍රව්‍ය ගෙන ඒමට හැකියාවක් නොමැති බවත් කාර්මික පරීක්ෂණ වාර්තා යටතේ ගෙන්විය යුතු බවත් අලුත් ක්‍රමවේදයයි. එස්ජීඑස් ආයතනය යනු ලෝකයේ රටවල් 260ක් පිළිගත් තත්ත්ව පරීක්ෂණ ආයතනයක් බැවිනුත් මෙතෙක් කිසිදු ගැටලුවකින් තොරව අමුද්‍රව්‍ය ගෙනා ආ බැවිනුත් පැවැති ක්‍රමවේදයට අමුද්‍රව්‍ය ගෙන ඒමට අවස්ථාව ලබාදෙන ලෙස ශ්‍රී ලංකා ආරක්ෂිත ගිනිපෙට්ටි නිෂ්පාදකයන්ගේ සංගමයේ ඉල්ලීමයි.

මේ වනවිට ගිනිපෙට්ටි නිෂ්පාදනය සඳහා පැවැති අවසන් අමුද්‍රව්‍ය තොගයද නිමා වෙමින් ඇත. එය මේ මස අවසන් වනවිට සම්පූර්ණයෙන්ම අවසන් වනු ඇත.
මෙරට ගිනි පෙට්ටි නිෂ්පාදන ආයතන 11ක් ඇත. සූර්යා, ශක්ති, ජෙට්, මැක්ස්, ඩයමන්, ඩෙල්මා, ඇලඩින්, රශ්මි වැනි නිෂ්පාදනයන් මේ අතර වෙයි.

කර්මාන්ත ශාලාවල සේවකයන් මේ දිනවල රැකියාවේ නිරත වන්නේ නැත. කර්මාන්තකරුවන් කල්පනා කරන්නේ සේවකයන්ට මූලික වැටුප ලබාදී ඔවුන් සේවයේ රඳවා ගන්නටය. නිෂ්පාදනයක් නොමැතිව පිරිවැයක් දැරීම කර්මාන්තයකට පාඩුය. එහෙත් සේවකයන් අමාරුවේ දැමිය නොහැකිය.
ගිනි පෙට්ටි කර්මාන්ත ශාලාවල සේවය කරන්නේ අඩු ආදායම්ලාභී පවුල්වල සේවකයන්ය. ගිනි පෙට්ටි කර්මාන්තයේ රැකියාවල නිරතවන්නන් 8,500ක් පමණ වේ. යම් හෙයකින් කර්මාන්තශාලා වසා දැමුවහොත් එම පිරිසට සිදුවන්නේ පාරට වැටෙන්නටය.

ශ්‍රී ලංකාවේ මුල්ම ගිනි පෙට්ටි කර්මාන්ත ශාලාව පිහිටුවා ඇත්තේ අනගාරික ධර්මපාලතුමාගේ එක් සහෝදරයකු වන වෛද්‍ය ඩී.ඒ. හේවාවිතාරණ මහතා විසිනි. ලංකා නිරාපද ගිනිකූරු නිෂ්පාදකයෝ යන නමින් මෙය ආරම්භ කරන ලද්දේ 1871 වසරේ කොළඹ බම්බලපිටියේදීය. කාගෙත් මතකයේ රැඳී ඇති අලි දෙදෙනා ලකුණ සහිත ගිනි පෙට්ටිය වන්නේ එම නිෂ්පාදනයයි. මෙම කර්මාන්තශාලාව මඟින් සිදුකරන ලද්දේ පිටරටින් ගිනිකූරු ගෙන්වා ගිනි පෙට්ටිවල ඇසිරීමයි. 1934 වසරේදී මොරටුවේ ආරම්භ කළ ලංකා ලයිට් ගිනි පෙට්ටි කම්හල මඟින් අපේම රටේ ලී භාවිත කරමින් ගිනි පෙට්ටි සෑදීම ආරම්භ කෙරිණි.

එදා සිට දේශීය කර්මාන්තකරුවන් විසින් කරන නිෂ්පාදනයක් ලෙස දේශීය ආර්ථිකයට ශක්තියක් එක් කරමින් ගිනි පෙට්ටි නිෂ්පාදනය සිදු කෙරිණි. එහෙත් අද ගිනි පෙට්ටි නිෂ්පාදනය ඇත්තේ අවදානමකය. ආරක්ෂක අමාත්‍යාංශය සමඟ සාකච්ඡා කර එම රසායනික ද්‍රව්‍ය ගෙන්වීමට ඇති බාධා සියල්ල ඉවත් කර අවශ්‍ය අමුද්‍රව්‍ය නිසි වේලාවට ලබාදීමට පියවර ගන්නා බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් ශ්‍රී ලංකා ආරක්‍ෂිත ගිනි පෙට්ටි නිෂ්පාදකයන්ගේ සංගමය සමඟ සාකච්ඡාවකදී ප්‍රකාශ කොට ඇත. ගිනි පෙට්ටි සඳහා අවශ්‍ය රසායනික ද්‍රව්‍ය ගෙන එන්නේ ආරක්ෂක අමාත්‍යාංශයේ මූලිකත්වය යටතේ නාවික හමුදාව හරහාය. මේ පිළිබඳව විමසීමට ආරක්ෂක ලේකම්වරයා සම්බන්ධ කර ගැනීමට උත්සාහ කළත් ප්‍රතිචාරයක් ලැබුණේ නැත. ආරක්ෂක අමාත්‍යාංශය ක්‍රියාත්මක වන්නේ ජනාධිපතිවරයා යටතේය. එම නිසා දේශීය කර්මාන්තකරුවන්ගේ මේ ගැටලුව සඳහා ආරක්ෂක අමාත්‍යාංශයේ විශේෂ අවධානයක් යොමු වේවා යැයි සටහන් කොට තබමු.

රසිකා හේමමාලි

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon