ඩෙංගුවා නසන බැක්ටීරියාවක් හොයාගෙන විදු ලොව මවිත කර ලෝක පූජිත වූ අපේ හපනා රුමල්

  👤  3697 readers have read this article !
By mawbima 2018-05-27

මිථ්‍යාව රජ වෙමින් තිබෙන රටක, අවිද්‍යාව ඇවිද්දවමින් තිබෙන රටක, විද්‍යාවට හෝ සැබෑවට ඇති ඉඩ අල්පය. එසේද වුවත් මේ අවිද්‍යා අන්ධකාරය දුරලා විද්‍යා ආලෝකය හීන් සීරුවේ හෝ කාන්දු වන්නේ නම්, මෝදු වන්නේ නම්, එයම රටේ ජනතාවගේ සුබසිද්ධිය සඳහාම හේතු භූත වනු ඇත.

එවැනි ප්‍රවෘත්තියක් ගෙන අප රට ලෝකයේ ජයග්‍රාහී මාවතකට රැගෙන ගිය අපූරු යොවුන් විද්‍යාඥයකු අපට හමුවිය.

ඔහු තවමත් පහළොස් වන වියෙහි පසුවන ශිෂ්‍ය ජීවිතය ගත කරන හලාවත ආනන්ද විදුහලෙහි එකොළොස් වැනි ශේ‍ර්ණියේ කේ. ආර්. රුමල් ඉඳුවරයි. අ.පො.ස. (සා.පෙළ) වත් තවම නොලියූ මේ පුංචි විද්‍යාඥයා එක රැයකින්ම එක විද්‍යාත්මක සොයාගැනීමක් හේතුවෙන් ලොව ඉහළින්ම නම තැබුවේය. එමතුදු නොව ලොව රටවල් අතර විද්‍යාඥයන් පැටව් ගස්සන, උත්පාදනය කරන රටක් හැටියට ශ්‍රී ලංකාවේ නාමය ඉහළින්ම කෙටුවේය.

ඒ ඩෙංගු මදුරුවා කීට අවස්ථාවේදීම විනාශ කළ හැකි බැක්ටීරියාවක් රට තුළින්ම සොයා ගැනීම හේතුවෙනි.

රුමල් කුඩා කල සිටම දැඩි ලෙස සමාජය, පරිසරය ප්‍රශ්න කරන දරුවෙක් බව අපට පැවසුවේ ඔහුගේ මව වන කෘෂිකර්ම සහකාර අධ්‍යක්ෂිකාවක වන බී.වී.ඩී. ශ්‍යාමලී මහත්මියයි. රුමල්ට විද්‍යාත්මක පසුබිමක් තනන්නට, රුමල්ගේ පියා වන ආචාර්ය කේ. ආර්. ප්‍රසන්න සඳරුවන්ද, ශ්‍යාමලීද නිති වෙහෙස ගත්හ. රුමල් තම එකම මල්ලී වන ඔමල් සමඟ පුංචි පහේ විදු පිරික්සුම්ද නිවෙසේ පැවැත්වීය.

නිවෙසින් ලබා ගත් විද්‍යා පන්නරය වඩාත් මුවහත් වූයේ හලාවත ආනන්ද විදුහලෙනි. විදුහල්පති ධනංජය මහතා, විද්‍යා ආචාර්යවරුන් වන මධුශානි රංගිකා, දිලිනි මාලිකා යන අය රුමල්ගේ ඉදිරි ගමන සඳහා දිරිය සැපයූහ. දඟකාරයකු වූ රුමල් විද්‍යා පර්යේෂණ නිසාම මෙල්ල විය.

ඩෙංගු රෝගය, ඩෙංගු මදුරුවා, රෝග බෝවීම, මිනිසුන් දරුවන් මියයෑම ආදී කරුණු පිළිබඳව රුමල් බෙහෙවින් සිතුවේය. කෙසේ වෙතත්; ලොවක්ම දණ ගසා සිටින ඩෙංගු රෝගය තම ජීවිත කාලය තුළ විසඳීමට, මැඬ පැවැත්වීමට තමාටද උපකාර කිරීමට හැකි නම් යන්න ඔහුට දැනී තිබුණේ කුඩා දරුවන් රැසක් මියයෑම හේතුවෙනි. ඔහු ඒ පිළිබඳව දැඩි ලෙස සංවේදී විය.

එසේ තිබියදී ඔහු වරක් තම පියා සමඟ පුදුකුඩිඉරිප්පු - මුලතිව් බලා සංචාරය කළ මොහොතකදී අත්දුටු කරුණක් පිළිබඳව විමසිලිමත් විය.

පසුගිය වසරේ තම විදුහලට ජාතික විද්‍යා පදනමෙන් එවූ ලිපියක් නිසාවෙන් ඔහු එදා සිතූ කල්පනාව පිළිබඳ පර්යේෂණ කිරීම ඇරඹීය. ආධුනික විද්‍යා, ඉන්ජිනේරු නිපැයුම්කරුවන් සඳහා එම ලිපිය පරිදි තරග වැදීමට ඔහු මේ පර්යේෂණය කළේය.

ඔහු එදා පුදුකුඩිඉරිප්පුවේදී අත්දුටුවේ, එම ප්‍රදේශයේ වෙන ප්‍රදේශවල තරම් මදුරු ගහනයක් නොමැති බවයි. ඔහු ඒ ගැන දිගින් දිගටම කල්පනා කළේය. 'මදුරුවෝ නැති වෙන්නේ හරි, අඩුවෙන්නේ හරි ඇයි?' 'මදුරුවෝ නැති වෙන්න විදියක් නැහැ.' 'එහෙම නම් මදුරුවෝ හැදෙද්දිම වගේ මිය යනවාද?' 'විනාශ වෙනවාද?' 'විනාශ කරනවාද කවුරුන් හෝ' මේ ගැන තවත් සොයා බලන්න ඕනි.

ඔහු යළි එහි ගියේය. වළවල්වල ජල සාම්පල ගෙන පිරික්සා බැලීය. ඔහුට නාඳුනන බැක්ටීරියා රැසක් හමුවිය. එම බැක්ටීරියා මදුරුවන් විනාශ කරන උන් හැටියට ඔහු නිගමනය කළේය.

ඔහු එම කල්පිතය තම ව්‍යාපෘතිය ලෙස සකසා මාලිකා ප්‍රනාන්දු විද්‍යා ගුරුතුමිය ලවා ජාතික විද්‍යා පදනමට යැව්වේය. ජාතික විද්‍යා පදනම මඟින් ඊට පෙර දැනුවත් කිරීමේ ව්‍යාපෘති සකස් කිරීමේ වැඩමුළුවක් ද ළමුන් වෙනුවෙන් පවත්වා තිබිණි.

රුමල්ගේ වාර්තාව ජාතික විද්‍යා පදනමේ විද්‍යා ප්‍රචලිත කිරීමේ අංශ ප්‍රධානී ජනක කරුණාසේන හා ඉන්ජිනේරු ජයවිලාල් මීගොඩ මහත්වරුන්ගේ ඇගැයුමට ලක්වී, තවදුරටත් පරීක්ෂාවට රාගම වෛද්‍ය පීඨයේ අණුක ජීව විද්‍යා අංශයේ (ර්ධ්ඛ්අර්ණී ඕධ්ර්ණීඹ්ර්ණීට්ක) අංශ ප්‍රධානී මේනකා හපුගොඩ හා ආචාර්ය තාරක රණතුංගට යොමු කරවන ලදී.

ඔවුන්ගේ නිර්දේශය පරිදි, ජාතික විද්‍යා පදනම මඟින්, ශ්‍රී ලංකාවෙන් මෙලෙස ඉදිරිපත් කළ ව්‍යාපෘති හයසිය ගණනක් අතුරින් රුමල්ගේ වාර්තාවට පළමු ස්ථානය ලබා දෙන ලදී. තවත් ඉන්ජිනේරු අංශයේ ව්‍යාපෘති දෙකක්ද ජයග්‍රහණය කළ අතර ජාතික විද්‍යා පදනම මෙම සිසුන් තිදෙනා හා ව්‍යාපෘතින් මැයි මස 13 සිට 18 දක්වා ඇමෙරිකාවේ පෙන්සිල්වේනියා ප්‍රාන්තයේ පීටස්බර්ග් නගරයේ පැවැත්වූ අන්තර්ජාතික විද්‍යා හා ඉන්ජිනේරු ප්‍රදර්ශනයට තම වියදමින් යැවීය.

එහිදී ලොව ඉහළම විද්‍යාඥයන්, නොබෙල් සම්මානලාභී විද්වතුන් මෙම ව්‍යාපෘති වාර්තා පිරික්සා රුමල් සම්මුඛ පරීක්ෂණවලට යොමුකරන ලදී. සම්මුඛ පරීක්ෂණ රැසක් පවත්වා අවසන ප්‍රදර්ශනයේ පරීක්ෂණ ප්‍රදර්ශන කුටියකදී මහජනතාවට ප්‍රදර්ශනය කිරීමට ඉඩ හළේය. ජනතාවද ඔහුගෙන් ප්‍රශ්න කළේය. අවසන් දින (18දා) පැවැත්වූ රැස්වීමේදී ඒ ශේ‍ර්ෂ්ඨ විද්‍යාඥයන් විසින් රුමල්ගේ කල්පිතය පිළිගනිමින් ඩෙංගු රෝග මර්දනය සඳහා ඩෙංගු මදුරුවා කීට අවස්ථාවේදීම විනාශ කරන නව බැක්ටීරියාවක් සොයා ගැනීම නිමිත්තෙන් ජීව අණුක විද්‍යා (ර්ධ්ඛ්අර්ණී ඕධ්ර්ණීඹ්ර්ණීට්ක) අංශයෙන් ලොව තෙවැනි ස්ථානය රුමල්ට ප්‍රදානය කරන ලදී. ඔහුට ත්‍යාග පදක්කම්, සම්මාන සහතික හා මුදල්ද ප්‍රදානය කරන ලදී.

ඔහුගේ ව්‍යාපෘතිය ඇගැයීම් වස් ලොව රටවල විවිධ විද්‍යාඥයන්, විද්‍යා ආයතන, විද්‍යාර්ථීන් සිය ගණනකට ආසන්න ප්‍රමාණයක් පදක්කම් (ර්ඒච්ච්ඡ්ඉ) ඔහුගේ කබායේ පලඳවන ලදී. එලෙස රටවල් හැත්තෑවකින් (70) සහභාගි වූ තරගකරුවන් එක්දහස් හත්සිය අනූ හතරක් (1794) අතරින් ලොව තෙවන ස්ථානය දිනා ගැනීමටත් ශ්‍රී ලංකාවට කීර්තිය ගෙන ඒමටත් රුමල්ට හැකියාව ලැබිණි. ඔහු සමඟ ඉන්ජිනේරු අංශය වෙනුවෙන් ව්‍යාපෘති ඉදිරිපත් කළ මහනුවර ශා. අන්තෝනි හා ක¼දාන ඩී. මැසනොද් විදුහල්වල සිසුන් දෙදෙනාට හතරවැනි ස්ථාන ලැබී තිබිණි.

රුමල් සොයාගත් බැක්ටීරියාව 'බැසිලස් සීරිස් ස්ට්‍රේන් ස්ට්‍රේන් එස් එල් 0001' (ඕඒඛ්ධ්ඹ්ඹ්උඉ ඛ්ඡ්අඡ්උඉ ඉඊඅඒධ්ව් ඉඊඅඒධ්ව් ඉඹ්0001) යනුවෙන් නම් කරන ලදී. එහි කර්තෘත්වය (ඒඋඊඩ්ර්ණීඅඉ) කේ. රුමල් ඉඳුවර, ටී. බී. රණතුංග, ඩබ්. එන්. ප්‍රනාන්දු, ජේ. ඒ. ඩී. වික්‍රම, ජී. පී. විතානගේ, එච්. ඩී. හපුගොඩ යන අය යටතේ විය.
මෙලෙස රුමල් ලෝක පූජිත වූයේ මදුරුවා කීට අවස්ථාවේදීම විනාශ කර දමන බැක්ටීරියාවක් දිවයිනේම ප්‍රාදේශීයව සොයා ගැනීම නිසාවෙනි. එය ලොව සෑම රටකටම ගැළපෙයි. මදුරුවන් නිසා බෝවන රෝග මැඬපැවැත්වීමට එය බෙහෙවින් උපකාරී වනු ඇත.

රුමල්, හලාවත ආනන්ද විදුහල් ඉතිහාසයට විද්‍යා අංශයෙන් ලෝක මට්ටමේ ජයග්‍රහණයක්ද, රටට කීර්තියක්ද ගෙන දී ඇත. ඉදිරි දිනෙක ආනන්ද මාතාව ඔහුට උපහාර පිදීමට සූදානමින් සිටී.

ඔහු සරල කල්පිතයක් ඉදිරිපත් කර ලොවට විශිෂ්ට මෙහෙවරකට මං පාදා ගනී. අප රට දරුවනට ඔහු ආදර්ශයකි. අප රටට මහා සාඩම්බරයෙකි. අවිද්‍යාවට, මිථ්‍යාවට මරු පහරක් දුන් ඔහු විද්‍යාව, සැබෑව, යථාර්ථය රටට ලොවට පෙන්වා දෙයි. තරුණ විද්‍යාඥයකුගේ නැඟිටීම ගැන අප රට කවුරුත් සතුටු විය යුතුමය. 'මව්බිම' ඔහුට සුබ පතයි.

රෝහණ වනිගසිංහ

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon