සංඛ්‍යා ලේඛන සහ දේශපාලන ව්‍යාජය

  👤  3678 readers have read this article !
By mawbima 2018-05-27

එදා 2005දී සිදු කළ එක් උපකල්පනයක් අනුව මහින්ද රාජපක්‍ෂ මහතාට 2005 ජනාධිපතිවරණය ජයග්‍රහණය කළ හැකි වූයේ ප්‍රභාකරන් විසින් උතුරේ සිදු කරන ලද ඡන්ද වර්ජනයේ වාසිය ඔහුට ලැබුණු නිසාය. නමුත් ඇත්ත තත්ත්වය එහි ප්‍රතිවිරුද්ධ දේ බව ඇතැමුන් අද පවා පිළිගන්නේ නැත. කෙසේ වෙතත් උතුර සහ නැඟෙනහිර පළාත්වල මැතිවරණ දිස්ත්‍රික් 5 වන මඩකළපුව, දිගාමඬුල්ල, යාපනය, ත්‍රිකුණාමලය සහ වන්නි යන දිස්ත්‍රික්කවලින් මහින්ද රාජපක්‍ෂ නියෝජනය කළ එක්සත් ජනතා නිදහස් සන්ධානය විසින් 2004 පාර්ලිමේන්තු මැතිවරණයේදී ඡන්ද 176,327ක් ලබා ගනු ලැබූ නමුත් ඔහු 2005 ජනාධිපතිවරණයේදී ලබා ගන්නේ ඡන්ද 92,404කි.

නමුත් රනිල් වික්‍රමසිංහ මහතා නියෝජනය කරන එක්සත් ජාතික පක්‍ෂය විසින් 2004දී ඡන්ද 97,586ක් ලබා ගන්නා ලද අතර 2005දී ඔහු ඡන්ද 111,096ක් ලබා ගැනීමට සමත් විය. ඒ අනුව ප්‍රභාකරන්ගේ ඡන්ද වර්ජනය නිසා මහින්ද රාජපක්‍ෂ මහතාගේ ඡන්ද ප්‍රමාණය 83,923කින් අඩුවන අතර රනිල් වික්‍රමසිංහ මහතාගේ ඡන්ද ප්‍රමාණය 13,510කින් වැඩිවේ. එසේ නම් ඡන්ද වර්ජනයේ වාසිය ලැබුණේ රනිල් වික්‍රමසිංහ මහතාට නොවේද?

දෙවැනි උපකල්පනය අනුව මහින්ද රාජපක්‍ෂ මහතා 2010 ජනාධිපතිවරණයේදී ෆොන්සේකා මහතාට එරෙහිව වැඩි ඡන්ද ලක්ෂ 18කින් ජයග්‍රහණය කිරීමේදී උතුර - නැඟෙනහිර දිස්ත්‍රික්කවලින් ලබාගත් ඡන්ද ප්‍රමාණය පසුව 2015දී බරපතළ ලෙස අඩු විය. නමුත් 2010 සාපේක්‍ෂ 2015දී උතුර - නැඟෙනහිර පළාත්වල දිස්ත්‍රික්ක 5න් මහින්ද රාජපක්‍ෂ මහතාට අහිමි වන්නේ ඡන්ද 21,621ක් පමණි. ඊට ප්‍රධාන වශයෙන් හේතු වන්නේ දිගාමඬුල්ල දිස්ත්‍රික්කයේ මුස්ලිම් ඡන්දවල අඩු වීම බව පෙනෙයි. එම ප්‍රමාණය 25,885කි. කෙසේ වෙතත් ඔහු වන්නි දිස්ත්‍රික්කයෙන් 2010ට වඩා 2015දී ඡන්ද 5,637ක් ලබා ගත්තේය. ඒ අනුව මෛත්‍රිපාල සිරිසේන මහතා ෆොන්සේකා මහතාට වඩා එම දිස්ත්‍රික්කවලින් ඡන්ද ලබාගත් නිසා ඔහු ජයග්‍රහණය කළ බවට තර්ක කළ හැකි වුවත් මහින්ද රාජපක්‍ෂ මහතා පරාජය වන්නේ එම දිස්ත්‍රික්කවල ඔහුගේ ඡන්ද පදනම බරපතළ ලෙස අඩු වූ නිසා බවට තර්ක කළ නොහැකිය. ඊට හේතුව එම ඡන්ද පදනම යටතේ ඔහු 2010දී වැඩි ඡන්ද ලක්ෂ 18කින් ජයග්‍රහණය කිරීමට සමත් වීමය. එසේ නම් ඔහු පරාජය වන්නේ 2015දී සමස්තයක් ලෙස වැඩි වූ නව ඡන්ද ප්‍රමාණය වූ 955,000න් අති බහුතර සෙසු දිස්ත්‍රික්කවලින් ලබා ගැනීමට අසමත් වූ නිසා නොවේද?

තුන්වැනි උපකල්පනය අනුව මහින්ද රාජපක්‍ෂ මහතා 2015දී දකුණේ දිස්ත්‍රික්කවලින් ලබාගත් ඡන්ද ප්‍රමාණය 544,458ක් වූ අතර මෛත්‍රිපාල සිරිසේන මහතා ලබා ගත්තේ ඡන්ද 5,239,051කි. ඒ අනුව මහින්ද රාජපක්‍ෂ මහතා විසින් මෛත්‍රිපාල සිරිසේන මහතාට වඩා ඡන්ද ලක්‍ෂ දෙකක් ලබාගෙන තිබිණි. එහෙත් ඔහුට ජයග්‍රහණය කළ නොහැකි වන්නේ උතුර සහ නැඟෙනහිර පළාත්වලින් මෛත්‍රිපාල සිරිසේන මහතා මහින්ද රාජපක්‍ෂ මහතාට වඩා ඡන්ද ලක්‍ෂ හයක් ලබා ගන්නා නිසාය. ඒ නිසා ඉදිරි මැතිවරණවලදී ජයග්‍රහණය කළ හැක්කේ උතුර - නැඟෙනහිර පළාත්වලින් වැඩි ඡන්ද ප්‍රමාණයක් ලබාගත හැකි අපේක්‍ෂකයාට පමණි.

නමුත් සත්‍ය තත්ත්වය අනුව 2010දී මහින්ද රාජපක්‍ෂ මහතා ෆොන්සේකා මහතාට එරෙහිව ජයග්‍රහණය කිරීමේදී උතුර - නැඟෙනහිර පළාත්වල දිස්ත්‍රික්ක පහෙන් ලබා ගැනීමට සමත් වන්නේ ඡන්ද 345,221කි. එය ඔහු විසින් 2015 මෛත්‍රිපාල සිරිසේන මහතාට එරෙහිව එම දිස්ත්‍රික්ක 5න් ලබා ගන්නා ලද ඡන්ද ප්‍රමාණය වන 332,360ට දළ වශයෙන් සමාන වේ. එසේ නම් 2010 වසරේදී ටී.එන්.ඒ. පක්‍ෂයේ නායකයන් ඇතුළු සියලු බෙදුම්වාදී, ජාතිවාදී කප්පම්කරුවන්ගේ ආශීර්වාදය ලබාගත් ෆොන්සේකා මහතා වැඩි ඡන්ද ලක්‍ෂ 18කින් පරාජය කිරීමට මහින්ද රාජපක්‍ෂ මහතා සමත් වන්නේ දකුණේ දිස්ත්‍රික්කවලින් බහුතරය ලබාගත් නිසාය. වෙනත් වචනවලින් කියන්නේ නම් එදා ඔහු ජයග්‍රහණය කළේ බහුතරයේ බහුතරය සහ සුළුතරයේ සුළුතරය ලබා ගැනීමෙනි. එසේ නැතහොත් ෆොන්සේකා මහතා සුළුතරයෙන් බහුතරය ලබා ගත්තත් බහුතරයේ බහුතරය ලබා ගැනීමට අසමත් වීම නිසාය.

ඊට අදාළ දෙවැනි තර්කය අනුව එදා 2015දී දකුණේ දිස්ත්‍රික්කවලින් මහින්ද රාජපක්‍ෂ මහතා විසින් මෛත්‍රිපාල සිරිසේන මහතාට වඩා ලක්‍ෂ දෙකකට වඩා වැඩි ඡන්ද ලබා ගන්නා ලද බව සත්‍යයකි. එහෙත් මහින්ද රාජපක්‍ෂ මහතා ෆොන්සේකා මහතාට එරෙහිව එම දිස්ත්‍රික්කවලින් ලබාගත් ඡන්ද ප්‍රමාණයට සාපේක්‍ෂව එය ඉතා අඩු ප්‍රමාණයකි. එසේම 2015දී මෛත්‍රිපාල සිරිසේන මහතා උතුරේ පමණක් නොව දකුණේ දිස්ත්‍රික්කවලින් ලබාගත් ඡන්ද ප්‍රමාණය 2010දී ෆොන්සේකා මහතා ලබාගත් ඡන්ද ප්‍රමාණයට වඩා බෙහෙවින් ඉහළ මට්ටමක පවතී. ඒ තුළින් ප්‍රධාන වශයෙන් පෙන්වන්නේ 2010 සිට 2015 වන විට දකුණේ දිස්ත්‍රික්කවල මහින්ද රාජපක්‍ෂ මහතාගේ ජනප්‍රියතාව සාපේක්‍ෂව බිඳ වැටීමය.

උදාහරණයක් ලෙස සිංහල ජනතාව බහුතරයක් ජීවත් වන කොළඹ, ගම්පහ, කළුතර, කුරුණෑගල, ගාල්ල යන දිස්ත්‍රික්ක 5න් 2015දී මහින්ද රාජපක්‍ෂ මහතා ලබාගත් ඡන්ද ප්‍රමාණය 2010දී එතුමා විසින් ලබා ගන්නා ලද ඡන්ද ප්‍රමාණයට වඩා 158,928කින් අඩුවිය. ඊට සාපේක්‍ෂව එම දිස්ත්‍රික්ක පහෙන් පමණක් 2015දී මෛත්‍රිපාල සිරිසේන මහතා ලබාගත් ඡන්ද ප්‍රමාණය 2010දී ෆොන්සේකා මහතා ලබාගත් ඡන්ද ප්‍රමාණයට වඩා ඡන්ද 684,298කින් වැඩිවිය. එම දිස්ත්‍රික්ක පහට අයත් සමස්ත මුස්ලිම් ඡන්ද ප්‍රමාණය 167,900කි. එය දළ වශයෙන් මහින්ද රාජපක්‍ෂ මහතාට එම දිස්ත්‍රික්කවලින් අහිමි වූ ඡන්ද ප්‍රමාණයට සම කළ හැකිය.

2015දී සමස්ත රටේම වැඩි වූ තරුණ ඡන්ද හෙවත් නව ඡන්ද ප්‍රමාණය 955,990කි. ඒ අනුව මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් ෆොන්සේකා මහතාට වඩා ඉහත දිස්ත්‍රික්ක 5න් ලබා ගන්නා ලද ඡන්ද ලක්‍ෂ 7කට ආසන්න ප්‍රමාණය තුළ අති බහුතරයක් නව ඡන්ද අඩංගු වන බව තහවුරු වේ. ඊට අමතරව මෛත්‍රිපාල සිරිසේන මහතා එම දිස්ත්‍රික්ක පහෙන් එතරම් විශාල ඡන්ද ප්‍රමාණයක් ලබා නොගන්නේ නම් උතුර - නැඟෙනහිර වැඩි ඡන්දවලින් පමණක් ඔහුට ජයග්‍රහණය කිරීමට ලැබෙන්නේ නැත. වෙනත් වචනවලින් කියනවා නම් මහින්ද රාජපක්‍ෂ මහතා දකුණේ දිස්ත්‍රික්කවල පැවැති තත්ත්වය වෙනස් කළා නම් ඔහු පරදින්නේ නැත.

හතර වැනි උපකල්පනය අනුව මහින්ද රාජපක්‍ෂයන් 2015දී බහුතර සිංහල ඡන්දවලින් 60%ක් ලබා ගන්නට සමත් වුවද සුළු ජාතික ඡන්දවලින් සැලකිය යුතු ප්‍රමාණයක් ලබාගත නොහැකි වූ නිසා ජයග්‍රහණය කළ නොහැකි විය. නමුත් සත්‍ය තත්ත්වය අනුව මහින්ද රාජපක්‍ෂ මහතාට කොළඹ හා ගම්පහ දිස්ත්‍රික්කවලින් ලැබුණු සිංහල ඡන්ද ප්‍රතිශතය පිළිවෙළින් 55%ක් සහ 45%කි. එම ප්‍රමාණය 60% දක්වා ඉහළ දමා ගත්තා නම් ඔහුට කොළඹ දිස්ත්‍රික්කයෙන් අමතර සිංහල ඡන්ද 64,818ක් සහ ගම්පහ දිස්ත්‍රික්කයෙන් අමතර සිංහල ඡන්ද 80,544ක් වශයෙන් එම දිස්ත්‍රික්ක දෙකෙන් පමණක් ඡන්ද 145,362ක් අමතරව ගත හැකිව තිබිණි. එම ප්‍රමාණය ඉහත සඳහන් කළ දිස්ත්‍රික්ක 5න් අහිමි වූවා යැයි සැලකිය හැකි සමස්ත මුස්ලිම් ඡන්ද ප්‍රමාණයට දළ වශයෙන් සමාන වේ. කොළඹ, ගම්පහ, කළුතර සහ මහනුවර යන දිස්ත්‍රික්ක 4 තුළ මහින්ද රාජපක්ෂ මහතා ලබාගත් සුළු ජාතික ඡන්ද ප්‍රමාණය 5% දක්වා ඉතා පහත වැටිණි.

ඊට මූලික හේතුව ජාතිවාදී මුස්ලිම් පක්‍ෂවල නායකයන් දෙදෙනකු මෛත්‍රිපාල සිරිසේන මහතාගේ පැත්තට පැනීමද එසේ නැතහොත් චම්පික - රාජිත මුස්ලිම් විරෝධී කුමන්ත්‍රණයේ ප්‍රතිඵලයක්ද යන්න ගැඹුරින් විග්‍රහ කළ යුතුය. බොහෝ විට ඒ දෙකම විය හැකිය. කෙසේ වෙතත් කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක දෙකෙන් පමණක් බහුතර සිංහල ජනතාවගෙන් අමතර 5%ක් මහින්ද රාජපක්‍ෂට ඡන්දය ප්‍රකාශ කළා නම් මෛත්‍රිපාල සිරිසේන මහතාගේ වැඩි ඡන්ද ප්‍රමාණය 145,362කින් අඩුවේ. ඊට අමතරව කොළඹ, ගම්පහ, කළුතර සහ මහනුවර මධ්‍යස්ථ මුස්ලිම් ජනතාවගේ 15% දක්වා මුස්ලිම් ඡන්ද ප්‍රමාණයක් මහින්ද රාජපක්‍ෂ මහතා ලබා ගත්තා නම් මෛත්‍රිපාල සිරිසේන මහතාගේ වැඩි ඡන්ද ප්‍රමාණයෙන් තවත් 115,000ක් එසේ අඩුවේ. එසේ වූවා නම් මෛත්‍රිපාල සිරිසේන මහතා වැඩි ඡන්ද 76,652කින් පරාජය වේ.

පස්වැනි උපකල්පනය අනුව පළාත් පාලන මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මෛත්‍රි පාර්ශ්වය විසින් ලබා ගන්නා ලද 13.3%ක ඡන්ද ප්‍රතිශතය ඉදිරි ජනාධිපතිවරණයේදී ඡන්ද එකතුවක් හෙවත් 'බ්ලොක් වෝට්' එකක් ලෙස වැදගත් වන්නේ නැත. ඒ නිසා එම බලවේගය සුවිශේෂී ආණ්ඩු විරෝධී බලවේගයක් ලෙස කළමනාකරණය කිරීමට අවශ්‍ය නොවේ. ඒ නිසා මෛත්‍රිපාල සිරිසේන මහතා හෝ ඔහු සමඟ එක්වූ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය මන්ත්‍රිවරුන්ට විශේෂ වටිනාකමක් ලබාදීම අවශ්‍ය නොවේ. ඉදිරි මැතිවරණයේදී මෛත්‍රිපාල සිරිසේන මහතා අසරණ වන බැවින් එම බලවේගයේ යම් පිරිසක් ස්වේච්ඡාවෙන් පොදුජන පෙරමුණට එකතු වනු ඇත.

නමුත් කුමන හෝ කප්පමක් ලබාදීමට එකඟ වී රිෂාඩ් බදියුදීන්ලාගේ, හකීම් සහ සම්පන්දන්ලාගේ 1%, 2% හෝ 3%ක ඡන්ද එකතුව දිනා ගැනීම ඊට වඩා වැදගත් වනු ඇත.

නමුත් සත්‍ය තත්ත්වයට අනුව ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මෛත්‍රි පාර්ශ්වය 13.3%ක් ලබා ගන්නේ ඉතා දුෂ්කර දේශපාලන හිරවීමක් තුළ සිටියදී සහ ඉතා ප්‍රබල සහ ජනප්‍රිය මහින්ද පාර්ශ්වය සියයට 44.6%ක්ද ඉහළ ඡන්ද ප්‍රතිශතයක් ලබා ගන්නා තත්ත්වයක් යටතේය. මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ආණ්ඩු විරෝධී බලවේගයට වඩා ප්‍රබල ආණ්ඩු විරෝධී පාර්ශ්වය වන ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මහින්ද පාර්ශ්වය සමඟ එක් වන්නේ නැත. එම බලවේගය ස්වේච්ඡාවෙන් මහින්ද පාර්ශ්වය සමඟ එක්වන තත්ත්වයක් පවතී නම් මැතිවරණයේදී ඔවුනට 13.3% වැනි සාපේක්‍ෂව ඉහළ ප්‍රතිශතයක් ලබා ගැනීමට හැකි වන්නේ නැත. ඒ නිසා එම බලවේගය ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය ලෙස මහින්ද පාර්ශ්වය සමඟ එකතු කිරීමෙන් තොරව එහි සමස්තය වන 13.3% ප්‍රතිශතය සියයට 44.6% එක ප්‍රතිශතය සමඟ එකතු කිරීමට හැකි වන්නේ නැත. ඒ එම 13.3% තුළ තිබිය හැකි මහින්ද රාජපක්‍ෂ මහතාට ලබා නොදෙන බව සැලකෙන සැබෑ සුළු ජාතික ඡන්ද ප්‍රතිශතය සැලකිල්ලට නොගන්නා තත්ත්වයක් තුළය. කෙසේ වෙතත් මෛත්‍රිපාල සිරිසේන මහතාගේ 2015 ඡන්ද ප්‍රතිඵලය තුළ සුළු ජාතික ඡන්ද උපරිම වශයෙන් 40%ක් නියෝජනය වේ. ඒ අනුව එම ප්‍රතිශතය 2018ට ආදේශ කළ විට එය 5.2%කි. එම ප්‍රතිශතය ඉවත් කළ විට මෛත්‍රි පාර්ශ්වයේ ඡන්ද ප්‍රතිශතයේ 8%ක් බහුතර සිංහල ඡන්ද ලෙස සැලකිය හැකිය. ඒ අනුව මෛත්‍රි - මහින්ද පාර්ශ්ව දෙකේ ඡන්ද එකතුව 52.6% ඉක්මවා යයි.

මෛත්‍රිපාල සිරිසේන මහතාට දේශපාලන වශයෙන් 'මැද සිටීමට' ඉඩක් තිබෙන තුරු එම බලවේගය සමස්තයක් ලෙස දිනා ගැනීමට මහින්ද පාර්ශ්වයට නොහැකිය. ඒ නිසා එම බලවේගයෙන් බහුතරය දිනාගත හැක්කේ මෛත්‍රිපාල සිරිසේන මහතා දිනා ගැනීම හෙවත් යටත් කිරීම හෝ මෛත්‍රි සාධකය නොමැතිව ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මන්ත්‍රිවරුන් දිනා ගැනීම මඟිනි. ඒ දෙවැනි තේරීමේදී මෛත්‍රිපාල සිරිසේන මහතාට දුමින්ද දිසානායක වැනි කිහිප දෙනකු සමඟ එක්ව සතුරා සමඟ සිට ගැනීමට සිදුවේ. ඔහු සතුරා සමඟ සෘජුව හිට ගන්නා විට ඔහුගේ බලවේගයෙන් අති බහුතරයක් ඔහුගෙන් ගැලවෙන බවට සැකයක් නැත. එම බලවේගය දිනා ගැනීම හෙවත් 44.6% සහ 13.3%න් අති බහුතරය එකතු කිරීම කළ හැක්කේ මෛත්‍රිපාල සිරිසේන මහතාට මැද සිට ගැනීමට නොහැකි දේශපාලන පරිසරයක් නිර්මාණය කිරීමෙනි.

එසේ නොවන තත්ත්වයක් යටතේ නැති නම් මෛත්‍රි සාධකය මැද සිටගෙන සිටිමින් අවසාන මොහොතේ සතුරාට එකතු වූ විට එම බලවේගය ස්වේච්ඡාවෙන් එතැයි බලා සිටින තත්ත්වයක් යටතේ දුර්මුඛ වන එම බලවේගය තීරණාත්මක ඡන්දයකදී ඡන්දය දැමීමට නොයා සිටීමේ ප්‍රවණතාවක් ඇතිවිය හැකිය. එම බලවේගය මහින්ද රාජපක්‍ෂ මහතා පිළිබඳ 'අර්ධ හෘදයක්' සහිතව සිටින පිරිසක් ලෙස හැඳින්විය හැකිය. නමුත් දේශපාලන වශයෙන් පැහැදිලි එකඟතාවක් සහ පෙළගැසීමක් දක්නට ලැබේ නම් ඔවුන් මහින්ද රාජපක්‍ෂ මහතා විසින් තෝරනු ලබන අපේක්‍ෂකයා සම්පූර්ණ හෘදයෙන් භාරගන්නා බවට සැකයක් නැත. ඉතා අවාසිදායක තත්ත්වයක් යටතේ මහින්ද රාජපක්ෂ මහතාට 2015 ජනවාරි මාසයේ කතිරය ගසන ලක්‍ෂ 11ක් ඉන් මාස හතකට පසුව ඡන්දපොළට නොයා සිටිමින් ඔහු අත්හැරීමට තීරණය කිරීමේ මනෝභාවය පිළිබඳව අධ්‍යයනය කිරීම සඳහා මේ වන තුරු දේශපාලන වටිනාකමක් ලබාදී නැත. එවැනි අධ්‍යයනයක් සිදු කළා නම් මෛත්‍රිගේ බලවේගය මෛත්‍රි කුමන තැනක සිටියත් ස්වේච්ඡාවෙන් මහින්ද රාජපක්‍ෂ වෙත එන බවට බොළඳ තර්ක ඉදිරිපත් කිරීමට ඉඩක් නැත.

වික්‍රම පී. හල්තොට

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon