ශ්‍රී ලනිප 23 ආණ්ඩුවෙන් ගියාට එජාපයට ප්‍රශ්නයක් නැහැලු

  👤  3727 readers have read this article !
By mawbima 2018-05-27

ජේ.ටී. ද සිල්වා

සම්මුතිවාදී ආණ්ඩුව තුළ සිටින ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රිවරු විසිතුන් දෙනා ආණ්ඩුවෙන් ඉවත් වුවත් ආණ්ඩුව පවත්වාගෙන යෑමට බාධාවක් නොමැති බව එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධ දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති.

පිළිගත් දේශපාලන පක්ෂ කිහිපයක් එක්සත් ජාතික පක්ෂය සමඟ ආණ්ඩුවට එක්ව කටයුතු කරන බව පෙන්වාදෙන ඔවුහු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුවෙන් ඉවත් වූ පමණින් සම්මුතිවාදී ආණ්ඩුවේ කඩා වැටීමක් සිදුනොවන බවද සඳහන් කරති.

පාර්ලිමේන්තුවේ නිල කාලය අවසන් වනතෙක් ආණ්ඩුව පවත්වාගෙන යෑම සඳහා මේ වනවිටත් ආණ්ඩුව සමඟ සිටින දේශපාලන පක්ෂ සමඟ සාකච්ඡා පවත්වා ඇති බවද වාර්තා වේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇමැතිවරුන් කණ්ඩායම ආණ්ඩුවෙන් ඉවත් වුවහොත් ඔවුන් දරන තනතුරු ආණ්ඩුව සමඟ සිටින අනෙකුත් පක්ෂ වෙත ලබාදීම කෙරෙහිද සාකච්ඡා වී ඇතැයි ආණ්ඩුවට සම්බන්ධ ජේ‍යෂ්ඨ දේශපාලනඥයෙක් 'ඉරිදා මව්බිම'ට පැවැසීය.

පාර්ලිමේන්තුවේ වැඩිම ආසන සංඛ්‍යාව ලබාගන්නා පිළිගත් දේශපාලන පක්ෂය හෝ ස්වාධීන කණ්ඩායම සහ පාර්ලිමේන්තුවේ අනෙකුත් පිළිගත් දේශපාලන පක්ෂ හෝ ස්වාධීන කණ්ඩායම් එකතුව පිහිටුවනු ලබන ආණ්ඩුවක් ජාතික ආණ්ඩුවක් වනු ඇතැයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පැහැදිලිව අර්ථ නිරූපණය කර තිබෙනවා යැයි හෙතෙම පෙන්වා දුන්නේය.

ජාතික ආණ්ඩුවෙන් ශ්‍රී ලනි පක්ෂය ඉවත් වුවහොත් ජාතික ආණ්ඩුව අවසන් වන බව සඳහන් කරන්නේ නම්, එය සිහිනයක් යැයිද ඔහු සඳහන් කළේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon