ජලයෙන් යට වූ නිවාස පිරිසුදු කර ගැනීමට රජයෙන් රුපියල් දසදහසක් ලබා දෙනවා

  👤  4186 readers have read this article !
By mawbima 2018-05-28

මහනුවර - නදීක දයා බණ්ඩාර


ජලය බැස යෑම ආරම්භවීමත් සමඟ ජලයෙන් යටවූ නිවාස කඩිනමින් ඇස්තමේන්තුගත කරන ලෙසට දිස්ත්‍රික් ලේකම් හා ප්‍රාදේශීය ලේකම්වරුන් ඇතුළු අදාළ නිලධාරීන් දැනුවත් කළ බව වාරිමාර්ග, ජල සම්පත් කළමනාකරණ හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා ප්‍රකාශ කළේය.


වැසි තත්ත්වයේ අඩුවීමක් ආරම්භ වූ නමුත් ජලය බැසයෑමේ අඩුවක් මේ දක්වා සිදු නොවන නිසා හානියට පත් නිවාස ඇස්තමේන්තුගත කිරීම අපහසු වී ඇතැයි පෙරේදා (26දා) මහනුවර සිදුව ඇති ආපදා නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව අමාත්‍යවරයා සඳහන් කළේය.


ආපදා හේතුවෙන් එක්ලක්ෂ තිස්දහසකට අධික පිරිසක් විපතට පත්ව ඇති බවත් සිදුව ඇති පුද්ගල මරණ 16න් පහක් සිදුව ඇත්තේ අකුණු සැර වැදීමෙන් යැයිද අමාත්‍යවරයා කීවේය. ගං වතුර නිරීක්ෂණය, ජලයේ ඔරු පැදීම සහ මාළු ඇල්ලීම සඳහා යෑමෙන්ද පුද්ගල මරණ සිදුව ඇති නිසා සිදුවිය හැකි ඉදිරි අනතුරු පිළිබඳව විමසිලිමත් වන ලෙස අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.


ජලයෙන් යටවූ නිවාස පිරිසුදු කර ගැනීම සඳහා රජය මඟින් රුපියල් 10,000ක මුදලක් ලබා දෙනවා. ආපදාවට පත්වූ නිවාස සඳහා රුපියල් ලක්ෂ 25 දක්වා ඇස්තමේන්තුගත වන්දි මුදලක් ලබාදීමටද රජය අපේක්ෂා කරනවා.


ආපදා වැළැක්වීම සඳහා දීර්ඝ කාලීන වැඩපිළිවෙළක් රජය යෝජනා කර තිබෙනවා. ඒ අනුව වර්ෂ 2030 වන විට ආපදා අවම කර ගැනීම මූලික ඉලක්කයක්. ආරක්ෂක අංශ, වාරිමාර්ග, වෛද්‍ය ආදී සියලුම අංශ ඒකරාශි කරමින් නව වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට නියමිතය.


නුවරඑළිය හග්ගල ප්‍රදේශයේ නාය අවදානමක් සහිත ස්ථානයක් පවතින අතර ආපදා වැළැක්වීමේ දීර්ඝකාලීන වැඩපිළිවෙළ යටතේ මාර්ග සංවර්ධන අධිකාරියේ මූලිකත්වයෙන් එම ස්ථාන ස්ථාවර කිරීමේ ක්‍රියාමාර්ග ඉදිරියේදී ආරම්භ කරන බවද අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.


ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ මහනුවර දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂ ඉන්දික රණවීර මහතාද මේ අවස්ථාවට එක්විය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon