මාධ්‍යවේදී පුහුණු පාඨමාලා සඳහා ලබාදෙන මූල්‍යාධාරය ලක්ෂ දෙක දක්වා වැඩි කෙරේ

  👤  4140 readers have read this article !
By mawbima 2018-05-28

මෙරට ජනමාධ්‍යවේදීන්ගේ වෘත්තීය භාවය ඉහළ නැංවීම අරමුණු කරගනිමින් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය මඟින් වාර්ෂිකව ක්‍රියාවට නංවනු ලබන මාධ්‍යවේදී පුහුණු පාඨමාලා සඳහා ප්‍රදානය කෙරෙන මූල්‍යාධාරය රුපියල් ලක්ෂ දෙක දක්වා වැඩි කිරීමට ජනමාධ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබේ.


ඒ අනුව මෙතෙක් රුපියල් ලක්ෂයක්ව පැවැති මූල්‍යාධාරය, උපාධි හා පශ්චාද් උපාධි වෙනුවෙන් උපරිමය රුපියල් ලක්ෂ 2ක් හා දිගු කාලීන හා කෙටිකාලීන සහතික පත්‍ර පාඨමාලා සඳහා උපරිමය රුපියල් ලක්ෂයක් ලෙස ලබාදීමට තීරණය කර ඇති අතර අයැදුම්පත් කැඳවීම මේ වන විට ආරම්භ කොට තිබේ.


වසර තුනක සේවා කාලයක් සම්පූර්ණ කර ඇති දිවයිනේ පිළිගත් විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය ආයතනවල පූර්ණකාලීන හෝ අර්ධ කාලීන පදනම මත සේවයේ නියැළී සිටින වයස අවුරුදු 18ත් 55ත් අතර මාධ්‍යවේදීන්, නිදහස් මාධ්‍යවේදීන්, ප්‍රාදේශීය මාධ්‍යවේදීන් හා වෙබ් මාධ්‍යවේදීන්ට මෙම ශිෂ්‍යත්ව වැඩසටහන සඳහා අයැදුම් කළ හැකි වේ. ඉල්ලුම් කරනු ලබන පාඨමාලාව සෘජුවම ජනමාධ්‍ය ක්ෂේත්‍රයට අදාළ විය යුතු බවත් අමාත්‍යාංශය සඳහන් කරයි.


මේ සඳහා යොමු කරන සියලුම අයැදුම්පත් 2018 ජූලි මස 16දා හෝ එදිනට පෙර අධ්‍යක්ෂ (මාධ්‍ය), මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය, අංක 163, කිරුළපන මාවත, පොල්හේන්ගොඩ, කොළඹ 05 යන ලිපිනය වෙත ලියාපදිංචි තැපෑලෙන් එවිය යුතුවේ. වැඩිදුර විස්තර 011-2513645, 0112-513459 ඇමැතීමෙන් සහ ආදර්ශ අයැදුම්පත් ඹඹඹ.ථඥඤඪච.ඨධම.තඬ වෙබ් අඩවියට පිවිසීමෙන් ලබාගත හැකි බව එම අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon