දකුණේ උණ වසංගතය ජනතාව දැනුම්වත් කර නිසි පියවර ගන්න: නැත්නම් රෝගය රටපුරා පැතිර යාවි

  👤  4144 readers have read this article !
By mawbima 2018-05-28

ඉමදුව - ටී. විතානවසම්,
රත්ගම - ගුණපාල ඉරත්නවල්ලි, අහංගම - එන්.ජී. ලියනගේ


දකුණේ මේ වනවිට වර්ධනය වී ඇති ඉන්ෆ්ලුවෙන්සා තත්ත්වය පිළිබඳව නිසි පරිදි ජනතාව දැනුවත් කර පාලනය කිරීමට පියවර නොගතහොත් රෝගය රට පුරා පැතිරී ජීවිත හානිවීමේ අවදානමක් පවතින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ කරාපිටිය ශාඛාවේ නිලධාරීන් පැවැසීය.


දැනට කරාපිටිය ශික්‍ෂණ රෝහලේ ළමා දැඩි සත්කාරක ඒකකය වයිරස් උණ වැලඳීමෙන් අසාධ්‍ය වූ දරුවන්ගෙන් පිරී යෑම නිසා එහි ඇඳක් වෙන් කර ගැනීමට නොහැකි වීමෙන් දැනට මාස දෙකක කාලයක සිට වෙනත් ළමා ශල්‍යකර්ම කිරීමට නොහැකි තත්ත්වයක් උදා වී ඇති බවත් එම සංගමයේ කරාපිටිය ශාඛාවේ නිලධාරීන් මාධ්‍ය හමුවක් පවත්වමින් පැවැසීය.


ගාල්ල කරාපිටිය ශික්‍ෂණ රෝහලේදී පෙරේදා (26දා) පැවැති මේ මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ කරාපිටිය රෝහලේ ළමා ශල්‍ය විශේෂඥ වෛද්‍ය ජනිත් ලියනගේ මහතා මෙසේ පැවැසීය.


''පිළිකා හා වෙනත් බරපතළ රෝග නිසා දරුවන්ට කළ යුතු ශල්‍යකර්ම මේ තත්ත්වය නිසා කිරීමට නොහැකි වී තිබෙනවා. එමෙන්ම මේ වයිරස් උණ රෝගී තත්ත්වය හේතුවෙන් ජනතාව අතර පවතින අනියත බිය නිසා වෙනත් රෝග සඳහා රෝහලට ඇතුළත් වන රෝගීන්ගේ සංඛ්‍යාව විශාල වශයෙන් අඩුවී තියෙනවා. මේ අනියත බිය නිසා ශල්‍යකර්ම සඳහා දින ලබාදුන් රෝගීන්ද නොපැමිණෙන තත්ත්වයක් උදා වෙලා.


දකුණු පළාතට තියෙන එකම ළමා දැඩිසත්කාරක ඒකකය කරාපිටිය පමණයි. ඒ නිසා මේ සඳහා ගාල්ල, මාතර, හම්බන්තොට, මොනරාගලින් පවා ජනතාව එනවා. මෙහි වයිරස් උණ රෝගය වැලඳීමෙන් අසාධ්‍ය වූ දරුවන්ගෙන් පිරී පැවැතීම නිසා වැඩිහිටියන් ඇතුළත් කරන දැඩිසත්කාරක ඒකකවලට ඇතුළත් කරලා දරුවන්ට ප්‍රතිකාර කිරීමට වෙලා තියෙනවා. මෙහි ඇඳන් 07ක් තියෙනවා. එක් ඇඳක වටිනාකම ලක්‍ෂ 50ක් විතර වෙනවා. දැන් ළමා දැඩි සත්කාරක ඒකකයේ ඇඳන් පිරී ගොස් ඇති නිසා දැනට මාස දෙකක විතර සිට ළමා ශල්‍යකර්ම කිරීමට ක්‍රමයක් නෑ. මේ තත්ත්වය නිසා එම දරුවන් නිවෙස්වලට යවා තියෙනවා.


මේ නිසා ළමා දැඩි සත්කාරක ඒකකයට රෝගීන් භාර ගැනීමට බැරි තත්ත්වයක් මතුව තියෙනවා. ළමා දැඩිසත්කාරක ඒකකය ඉදිකර ඇති ගොඩනැඟිල්ලේ තවත් ඇඳන් හයක් දැමිය හැකියි. ඇඳන් හයකට උපකරණ ලබා දෙන්නැයි සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ඉල්ලා සිටියා.''


මේ සඳහා අවශ්‍ය උපකරණ සහ අනෙක් දේවල් ලබාදීමට ඉක්මනින් පියවරක් ගන්නා ලෙසද විශේෂඥ වෛද්‍යවරයා මෙහිදී වැඩිදුරටත් ඉල්ලා සිටියේය.


මෙහිදී අදහස් දැක්වූ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ගාල්ල කරාපිටිය රෝහල් ශාඛාවේ ලේකම් වෛද්‍ය කංචිත සමරරත්න මහතා,
''දැන් දකුණේ පවතින ඉන්ෆ්ලුවෙන්සා තත්ත්වය සම්බන්ධයෙන් ජනතාව නිසි පරිදි දැනුවත් නොකරන්නේ නම් මේක රට පුරා වුණත් ව්‍යාප්ත වෙන්න පුළුවන්. දැනට කරාපිටියට එන රෝගීන් ප්‍රමාණය අඩු වෙලා තියෙනවා. නමුත් එම රෝගය පැතිරීම අඩුවී හෝ මර්දනය වී ඇතැයි කියා අර්ථකථනය කරනවා නම් ඒක වැරැදියි. මාධ්‍ය මඟින් මේ රෝගය ගැන විශාල ප්‍රචාරයක් ගෙන ගියා. ඒ ප්‍රචාරයේ හොඳ නරක දෙකම තියෙනවා. කොහොම වුණත් රෝගය ගැන බියට පත්වූ අය බොහෝ අවස්ථාවල රජයේ රෝහල සඳහා නොපැමිණ පෞද්ගලික රෝහල්වලට ගිහින් තියෙනවා. දැන් මේ වනවිට පෞද්ගලික රෝහල් රෝගීන්ගෙන් පිරී ගිහිල්ලා.


කෙසේ නමුත් මේ රෝගය සම්බන්ධයෙන් රජය දක්වන අවදානම කිසිසේත්ම සෑහීමකට පත්විය නොහැකියි. දැනටමත් රෝහල් කාර්ය මණ්ඩලයෙන් භාගයකට වැඩිය මේ රෝගය වැලඳිලා. ඒ නිසා ඉතිරි පිරිස හරි බේරා ගැනීම සඳහා ඉන්ෆ්ලුවෙන්සා එන්නත රෝහල් කාර්ය මණ්ඩලය වෙත ලබාදෙන මෙන් ඉල්ලා සිටිනවා. මේක පාලනය කළ හැකි එක් පියවරක් තමයි ඉන්ෆ්ලුවෙන්සා වැස්ලින් එක එන්නත් කර ගැනීම. එය දැනට මේ රෝගයෙන් බේරීමට එක් ක්‍රමයක් ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය පවා පිළිගෙන තියෙනවා.''

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon