ගම්පොළින් මතු වූ උමං පොකුණට පොලිස් ආරක්‍ෂාව

  👤  4347 readers have read this article !
By mawbima 2018-05-28

මාවනැල්ල - කේ.වී. බණ්ඩාර, ගම්පොළ - මාධව බණ්ඩාර


අම්බුළුවාව වත්තේකඩේ ප්‍රදේශයේ වැසි තත්ත්වය සමඟ හෙම්මාතගම - ගම්පොළ මාර්ගයේ ප්‍රධාන පාර අද්දර නාය ගිය කොටසකින් මතු වූ උමඟ සහ ඇතුළත ජලය පිරුණු විල නැරැඹීමට සහ ඇතුළතට යෑම මේ වනවිට ගම්පොළ පොලිසිය විසින් තහනම් කර එහි නාම පුවරුවක්ද අද වනවිට ජනතාව වෙනුවෙන් ප්‍රදර්ශනය කර තිබේ.
මේ ස්ථානය සම්බන්ධයෙන් 'මව්බිම' මුලින්ම රටට කරුණු අනාවරණය කිරීමෙන් පසුව වගකිව යුත්තන්ගේ අවධානයට යොමු වූයේ අම්බුළුවාව මෙන්ම ගම්පොළ යන ප්‍රදේශ පුරාණයේ සිට රාජධානි ලෙස පැවැතීම හේතුවෙනි. එම නිසා මේ ස්ථානයේ මේ වනවිට පැය 24 පුරාම පොලිසියේ ආරක්‍ෂාවද ලබාදී තිබෙන අතර පසුගිය දිනෙක එම ස්ථානය පුරා විද්‍යා දෙපාර්තමේන්තු නිලධාරීන්ගේද පරීක්‍ෂාවට ලක්විය.


පාර අද්දර කඳුගැටය අස්සේ නිල් පැහැති ජලය පිරුණු දිය පොකුණ සහ උමඟ අම්බුළුවාව කඳු දෙසට පැතිර තිබෙනු ඇති බවත් මේ මතු වී ඇත්තේ ගම්පොළ රාජධානියේ පෞරාණික ස්ථානයක් විය හැකි බවත් ප්‍රදේශවාසීන් පසුගිය 22 වැනි දින මේ ස්ථානය දැකීමෙන් පසුව සැක පහළ කරමින් අදහස් පළ කර තිබිණි.


පුරාවිද්‍යා නිලධාරීන්ද ගමේ කිහිප දෙනකුද ඔවුන් සමඟ අඩි 30ක පමණ දුරක් ඇවිද ගොස් ඇති අතර තව තවත් ඇතුළතට බිංගෙයි විහිදෙන බවද ඔවුන් කියයි.


මේ ප්‍රදේශයේ ඓතිහාසික තොරතුරු රැසක් පවතින අතර මේ ස්ථානයත් එවැනි ස්ථානයක් විය හැකි බවද විශ්වාස කළ හැකි අතර හෙම්මාතගම සිට ගම්පොළ දක්වා අම්බුළුවාව හරහා දැනට මං තීරු දෙකක් දක්වා මාර්ගය පළල් කිරීම සිදු කරන්නේද කොළඹ සිට උඩරට පිවිසුම් කෙටි මාර්ගයක් ලෙසිනි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon