මරා දැමූ දිවියකුගේ සිරුරක් නොර්වුඩ් වතු යායක

  👤  4039 readers have read this article !
By mawbima 2018-05-28

නොර්වුඩ් - නීටා පත්ම කුමාරි


නොර්වුඩ් පොලිස් වසමට අයත් නොර්වුඩ් වතු යායේ ඉහළ කොටසේ තණබිමක ඝාතනය කර තිබූ දිවියකුගේ සිරුරක් නොර්වුඩ් පොලිසිය විසින් පෙරේදා (26දා) පස්වරුවේ සොයාගෙන ඇත.


මන්දකට හසු වී මියගොස් සිටි මේ දිවියා අඩි 4ක් දිගකින් හා අඩි 2 1/2ක් පමණ උසකින් යුක්ත අවුරුදු 6 පමණ වයස ඇති මෑතකදී පැටවුන් බිහි කර ඇති කොටි ධේනුවක් බවයි නල්ලතන්නිය වනජීවී කාර්යාලයේ නිලධාරීන් කියා සිටියේ.


තේ වතු ආශ්‍රිතව සැරිසරන ශ්‍රී ලංකාවට පමණක් ආවේණික වූ මේ දිවි විශේෂය ශ්‍රී ලංකා කොටියා යනුවෙන්ද හඳුන්වනු ලබයි.


නොර්වුඩ් වතු යායේ මුරකරු විසින් මන්දකට හසු වී මිය ගොස් සිටි දිවියාගේ සිරුර දැක ඒ පිළිබඳව නොර්වුඩ් පොලිසියට දැනුම් දීමෙන් පසු නොර්වුඩ් පොලිසිය විසින් ඒ බැව් නල්ලතන්නිය වනජීවී කාර්යාලයේ නිලධාරීන්ට දැනුම් දී තිබේ.


මිය ගොස් සිටි දිවියා මන්දකට හසුවීමෙන් පසු ඔළුවට පහරදී දිවියාගේ දත් සහ නියපොතු ගලවා සිරුර තිබූ ස්ථානයට ගෙනැවිත් දමන්නට ඇති බව වනජීවී කාර්යාලයේ නිලධාරීන් කියා සිටී.


දිවියා ඝාතනය කළ සැකකරුවන් සොයා මෙහෙයුමක් ආරම්භ කර ඇති බවත් ඝාතනය කර තිබූ දිවියාගේ සිරුර පශ්චාත් මරණ පරීක්‍ෂණය සඳහා උඩවලව ජාතික වනජීවී පශු වෛද්‍ය රෝහල වෙත යොමු කරන බව නල්ලතන්නිය වනජීවී කාර්යාලයේ වන සත්ත්ව අඩවි ආරක්‍ෂක ඒ.ආර්.පී.ඒ. කරුණාතිලක මහතා කියා සිටියේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon