කොස් ගෙඩියක් කතකට මරු කැඳවයි

  👤  4250 readers have read this article !
By mawbima 2018-05-28
ගම්පොළ - මාධව බණ්ඩාර

වැස්සත් සමඟ ඇතිවූ සුළඟකින් කඳෙන් ගිලිහුණු කොස් ගෙඩියක් ගම්පොළ මාවතුර කළුගල්හින්න ප්‍රදේශයේ පදිංචි කාන්තාවකගේ හිස මත වැටී ඇය මරුමුවට පත්ව තිබේ. මෙසේ මියගොස් ඇත්තේ මේ ගම්මානයේ හුදකලාව ජීවත් වූ තුඹල්කුඹුරේ ගෙදර මාලනී නමැති 65 හැවිරිදි කාන්තාවකි.
සැමියා මිය යෑමෙන් පසු තනිව ජීවත්වන ඇය සිද්ධිය වූ දින ඡන්ද හිමි නාම ලේඛනය ග්‍රාම නිලධාරිවරියට භාරදී නිවෙසට පැමිණ නැවත නිවෙසින් පිටතට යෑමේදී මේ අනතුරට මුහුණ පා ඇති බව මරණ පරීක්‍ෂණයේදී අනාවරණය විය.
ගම්පොළ පොලිසියේ පොලිස් සැරයන් තුෂාර මහතාගේ (33850) සාක්‍ෂි මෙහෙය වීම මත ගම්පොළ රෝහල් මරණ පරීක්‍ෂක නලීන් ඒ මැදිවක මහතා මෙහි මරණ පරීක්‍ෂණය පැවැත් වූ අතර එහිදී සාක්‍ෂි දුන් ගණිත ගෙදර උදුලාවතී මහත්මිය මෙසේ පැවැසීය.
‘’මේ කොස් ගහට අඩි 50ක් විතර ළඟින් තමයි අපේ දර මඩුව තියෙන්නේ. මාලනී අක්කා ග්‍රාම සේවක හමුවෙලා නැවත කඩේට වෙන්න ඇති යන්න ගියේ. එතකොට මට ඇහුණා ‘ඩග්’ ගාලා කොස් ගෙඩිය වැටෙනවා. මම මාලනී ළඟට යනකොට එයා බිම වැටිලා හිටියා. ග්‍රාම සේවක නෝනාගේ කාර්යාලටත් මෙතැන ඉඳලා මීටර් 100ක් විතර තමයි දුර තියෙන්නේ.’’
මෙහිදී මාවතුර කළුගල්හින්න ප්‍රදේශයේ ග්‍රාම නිලධාරි තිළිණි රාජවර්ධන මහත්මියද සාක්‍ෂි ලබා දුන්නාය.

පශ්චාත් මරණ පරීක්‍ෂණය පැවැති ගම්පොළ ශික්‍ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරි ටී. තිලකුමාර මහතා කොස් ගෙඩිය වැටීම හේතුවෙන් මොළයට සිදුවූ හානිය නිසා මේ මරණය සිදුවූවක් බව වාර්තා කොට තිබිණි.
ඒ අනුව මෙය හදිසි අනතුරකින් සිදුවූ මරණයක් බව මරණ පරීක්‍ෂකවරයා තීරණය කරනු ලැබීය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon