පොහොට්ටුවට උදවු කරන මාධ්‍ය හදන්නේ බෙල්ලටම තොණ්ඩුව දා ගන්නයි

  👤  4465 readers have read this article !
By mawbima 2018-05-28

ත්‍යාගා ශ්‍රී මාලි බණ්ඩාර

අලුත් පරපුර සමඟ රට ගොඩනඟන්නට හැකියාව ඇති එකම පක්ෂය එජා පක්ෂය යැයි අවධාරණය කරන එජාප නායක අගමැති රනිල් වික්‍රමසිංහ එවැනි හැකියාවක් ඇති වෙනත් පක්ෂයක් තිබේ නම් පෙන්වා දෙන ලෙස අභියෝග කරයි.


රටට අවශ්‍ය වන්නේ රාජපක්ෂ 'රෙජීමය - දෙක' ද නැත්නම් 'ප්‍රජාතන්ත්‍රවාදයද' යන්න පිළිබඳව තීරණයට එළැඹීමේ වගකීම බුද්ධිමත් ජනතාව සතු බවද සඳහන් කළේය.
එජාප ජාතික සංවිධායක ධුරයට අභිනවයෙන් පත් වූ වැවිලි කර්මාන්ත අමාත්‍ය නවින් දිසානායක මහතා ඉකුත් 24 වැනිදා සිරිකොත පක්ෂ මූලස්ථානයේ පිහිටි එතුමාගේ නව කාර්යාලයේදී සිය ධුරයේ වැඩ ආරම්භ කිරීමේ අවස්ථාවට සහභාගි වෙමින් රනිල් වික්‍රමසිංහ මහතා මේ අදහස් පළ කෙළේය.


එම අවස්ථාවට එජාප මැති ඇමැතිවරු රැසක්ද සහභාගි වී සිටියහ.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් හෙතෙම මෙසේද කීය.


අපේ පක්ෂයේ ජාතික සංවිධායකවරයා ලෙස නවින් දිසානායක මහතා අද වැඩ භාරගන්නවා. එතුමා මේ පක්ෂයට පැමිණ විශාල සේවයක් සිදු කර තිබෙනවා. අමාත්‍යවරයකු ලෙස දක්ෂකම් පෙන්වා දී තිබෙනවා. තරුණ මන්ත්‍රිවරයෙක් ලෙස පාර්ලිමේන්තු විවාදවලදී දක්ෂතා දක්වා තිබෙනවා. මාධ්‍ය සාකච්ඡාවලදී තම කාර්යභාරය නිවැරැදිව ඉටු කර තිබෙනවා. එමෙන්ම නුවරඑළිය දිස්ත්‍රික්කය ජයග්‍රහණය කරා යොමු කිරීම සඳහා ක්‍රියාකර තිබෙනවා. අපගේ පක්ෂ ප්‍රතිසංවිධානය සඳහා අවශ්‍ය වන්නේ එවැනි තරුණ නායකයන් බව කිව යුතුයි. එවැනිම වූ විශාල සේවයක් එතුමා එක්සත් ජාතික පක්ෂයටද කරනු ඇතැයි මා බලාපොරොත්තු වෙනවා.
1970 වසරේ පක්ෂය ලැබූ පරාජයෙන් පසු පක්ෂය ප්‍රතිසංවිධාන කිරීම සඳහා නවින් දිසානායක මහතාගේ පියා ඉදිරිපත් වුණා.


ගාමිණී දිසානායක මහතා සමඟ ළඟින් ඇසුරු කිරීමට මටත් අවස්ථාව ලැබුණා. අප පක්ෂය ගොඩනැඟීමේ ව්‍යාපාර කිහිපයකම එකට වැඩ කළා. 1971 වසරේ සිට මා එතුමා දැන හඳුනාගෙන සිටියා. අවසානයේදී ගාමිණී දිසානායක මහතා පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස සිටියදී පක්ෂය වෙනුවෙන් තම ජීවිතය පූජා කළා. ඒ කාරණය අපට කෙලෙසකවත් අමතක කරන්නට බැහැ. නවින් දිසානායක ඇමැතිතුමාටත්, එවැනිම වූ ලක්ෂණ තිබෙනවා.


මෙම තරුණ පරපුර ඊළඟ නායක පරම්පරාව ලෙස ඉදිරිපත් විය යුතුයි.


පක්ෂයට නායකත්වය දෙන පුද්ගලයන් මේ අය අතරත් පක්ෂයට අලුතින් එක්වන පිරිස අතරත් සිටිනවා. ප්‍රජාතන්ත්‍රවාදය යනු ජනතා ඡන්දයෙන් පත්වීමයි. ජනතා ඡන්දයෙන් පත්වෙනවා නම් පක්ෂය ඉදිරියට ගෙන යන්නේ කෙසේද දෙවැනි පෙළ සහ තුන්වැනි පෙළ නායකයන් කවුද? අනාගත නායකයන් කවුද යන කාරණය පෙන්වා දිය හැකියි. එලෙස පෙන්වා දිය හැකි එකම පක්ෂය වන්නේ එක්සත් ජාතික පක්ෂය පමණයි. 2020 දක්වා පමණක් නොව 2030 දක්වා එම නායකයන් කවුදැයි පෙන්වා දිය හැකියි.
රාජපක්ෂ රෙජීමය ක්‍රියාත්මක කළ විශ්‍රාම ගිය හමුදා නිලධාරීන් පිරිසක් සිටිනවා. ඔවුන්ගෙන් ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා වේවිද? ඔවුන් කරන්නේ කුමක්ද? එදා ලසන්ත වික්‍රමතුංග ඝාතනය වුණා. එක්නැලිගොඩ අතුරුදන් වුණා.


මා එක් කාරණයක් අවධාරණය කරන්නම්. මේ පිරිස වෙනුවෙන් පෙනී සිටින මාධ්‍යවේදීන් ගණනාවකට ඔවුන් බලයට පැමිණියහොත් අතුරුදන් වන්නට සිදුවේවි. ඔවුන්ගේ පිළිවෙත එයයි. මා නැවත මතක් කළ යුතු නැහැ. තමන්ගේ බෙල්ල වටේ තමන්ම තොණ්ඩුව දමා ගනීවි.


එක්සත් ජාතික පක්ෂ ජාතික සංවිධායක වැවිලි කර්මාන්ත අමාත්‍ය නවින් දිසානායක මහතා
පැරැණි සිරිකොත මන්දිරයට මා පියා සමඟ යන අයුරු තවම මතකයි. පක්ෂයේ ශේ‍ර්ෂ්ඨ නායකයන්ගේ මුහුණු මතකයි. පොඩි කොල්ලකු ලෙස පියා සමඟ මා එහි ගියා.
එක්සත් ජාතික පක්ෂයේ හදගැස්ම මට ඉගැන්වූයේ මගේ පියායි. අපේ පක්ෂය යම් පසුබෑමකට ලක්වී ඇති බව පිළිගත යුතුයි. එයින් ගොඩ ඒමට නම් පොදු න්‍යාය පත්‍රයක් අනුව කණ්ඩායම් හැඟීමෙන් වැඩ කළ යුතුයි. සුදු වෑන් හඳුන්වා දුන් අය නැවත සුදනන් වී ජනතාව අන්දමින් සිටිනවා. මෙය විහිළුවක් පමණයි. එක්සත් ජාතික පක්ෂය ජයග්‍රාහී මාවතට නොගතහොත් හොරු නැවතත් කරළියට එනවා.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon