සියලු ප්‍රශ්නවලට වගකිවයුත්තා අගමැති රනිල්

  👤  4236 readers have read this article !
By mawbima 2018-05-28

මාතර - උදය කුමාර රණවීර,අකුරැස්ස - එස්. රණවීර, ගන්දර - නිලූකා හේරත්

එදා 2015 මැතිවරණයකට යන්න තීරණය කළත් බොහෝ දෙනකු එයට විරුද්ධ වූයේ රටේ තත්ත්වය හොඳ නැති බව තමා ඇතුළු සුළු ජාතික පක්ෂ හැම නායකයෙක්ම හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට පැවැසූ බවත් එදා මහ ලේකම් හිටපු මෛත්‍රිපාල සිරිසේන මහතාව ලිපියක් ලියා පෞද්ගලිකව මේ බව දැනුවත් කළ බව හිටපු අමාත්‍ය ජාතික ලැයිස්තු මන්ත්‍රි එස්.බී. දිසානායක පැවැසීය.


මන්ත්‍රිවරයා මේ බව කියා සිටියේ 26 වැනි දින මාතර උයන්වත්ත ක්‍රීඩාංගණයේදී පැවැති 16 දෙනාගේ හෘද සාක්ෂිය සම්මන්ත්‍රණ මාලාවේ පළමුවැන්නට එක්වෙමිනි.
එහිදී තවදුරටත් අදහස් දැක්වූ හෙතෙම මෙසේද කීය.


එදා යුද්දෙ වාසිය අපට නැති වුණා. සුළු පක්ෂ බරපතළ ලෙස අමනාප කර ගන්නවා. මුස්ලිම් මිනිස්සුන්ටත් යුද්ධය දිනීමේ වාසිය හිමි වුණා. මුස්ලිම් ජනතාවත් අමනාප කර ගත්තා. උතුරේ මහා සංවර්ධනය තිබුණත් අප ඒ මිනිසුන් නැති කරගත්තා. ජනාධිපතිවරණයකට යෑමේ වරද අපි අත්වින්දා.


මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා පක්ෂයට ආදරය ඇති නායකයෙක්. අපි යහපාලන ආණ්ඩුවට එකතු වුණා. ඒ කාලය අපට දුෂ්කර කාල පරිච්ඡේදයක් බවට පත් වුණා. ආර්ථිකය හොඳ දිසාවකට ගන්න අප සෑහෙන මහන්සියක් ගත්තා. කොට්ඨාස ක්‍රමයට මැතිවරණ ක්‍රමය ගෙන එන්න අපිට පුළුවන් වුණා. පොදුජන පෙරමුණ හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එකතු කරන්න අප උත්සාහ ගත්තා. නමුත් පළාත් පාලන ඡන්දයේදී පොදුජන පෙරමුණ දකුණ දිනාගත්තා. එහෙත් පළාත් පාලන ආයතන 341න් 167ක බලය කාටවත් හිමි වෙලා නෑ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, පොදු පෙරමුණ එකතු වුණා නම් තවත් පළාත් පාලන ආයතන 147ක බලය ලබාගන්න තිබුණා.


විශ්වාසභංගය පටන් ගත්තට පස්සේ මහින්ද රාජපක්ෂ මහතා සමඟ අප සාකච්ඡා කරන්නට කටයුතු කළා. අපේ සමහරුන් එය පරාජයට පත් කරන්නට කටයුතු කළා. ජාතික ආණ්ඩුවෙන් තවත් දහදෙනකු අප සමඟ එකතුවෙන්න සූදානමින් සිටියා.


එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රිවරු පනහකට වැඩිය ඇවිත් කියනවා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාට රනිල් එපා. රනිල් අයින් කරන්න කියලා. එතුමා කතා කරලා අගමැතිවරයාට කියනවා අයින් වෙන්න කියලා. බැහැ කිව්වම කරු ජයසූරියත් ගෙන්නල කිව්වා අයින් වෙන්න කියලා එතුමා ඉදිරිපිට. ඒත් අයින් වෙන්නෙ නෑ. බැහැ කියනවා. පක්ෂයේ ප්‍රධාන නිලධාරීන් ගෙනැල්ල ඒ අයත් එක්ක කියනවා අයින් වෙන්න කියලා. ඒත් අයින් වෙන්නේ නැති වෙනකොට ආණ්ඩු පක්ෂයේ සියලුම ඇමැතිවරු ගෙනැල්ලා කියනවා අයින් වෙන්න කියලා. මේ මන්ත්‍රිවරු තමයි කියන්නෙ ඔබතුමාට අයින් වෙන්න කියලා. අයින් වෙන්න. අපේ කණ්ඩායමේ ඒකමතික තීන්දුවක් අරගෙන අපි ගිහිල්ල කියනවා අගමැතිතුමාට ඔබතුමා අයින් වෙන්න කියලා.


ඒ කියලත් අයින් වෙන්නෙ නැති වෙනකොට තමයි අපි විශ්වාසභංගයට ක්‍රියාත්මකව සහාය දුන්නේ. විශ්වාසභංගය භාරදුන් දවසේ ඉඳලා අපි මහින්ද රාජපක්ෂ, නාමල්, වාසුදේව, ඩලස් එක්ක විමල් වීරවංශ, ගම්මන්පිල, දිනේෂ් එක්ක දිගින් දිගටම සාකච්ඡා කරමින් ඒ අගමැතිට එරෙහිව විශ්වාසභංගය දිනවන්න කටයුතු කළා. මේ මන්ත්‍රිවරු සියලු දෙනා හිටියා. අපේ පක්ෂයේ පිරිසක් මේකට විරුද්ධ වෙච්චි මොහොතේ සුළු ජාතික මන්ත්‍රිවරු තිලංග සුමතිපාල නියෝජ්‍ය කථානායකතුමාගේ ගෙදර බලාගෙන හිටියා හෙට මේකට පක්ෂව ඡන්දෙ දෙන්න. එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රිවරු ගාණක් නාරාහේන්පිට පන්සලේ හිටියා. රතන හාමුදුරුවන්ගෙ පන්සලේ හිටියා. තව පිරිසක් අපේ ගෙදර හිටියා.


අපේ පක්ෂයේ පිරිසක් මේකට විරුද්ධ වන්න ගත්තම අපි දැනගත්තා මේක පරදින බව. මේක අතෑරියා. හැබැයි මේ කියන හෘදසාක්ෂියට අනුව අපි දන්නවා මේකේ මහ මොළකාරයා අපරාධකාරයා රනිල් වික්‍රමසිංහ. මේ තියෙන රටේ අර්බුදවලට ආර්ථිකය කඩාවැටීමට මිනිස්සුන්ට ජීවත් වෙන්න තියෙන අමාරුකම් සියල්ලටම වගකිවයුතු මිනිහා රනිල් වික්‍රමසිංහ කියලා අපි කියනවා. ඒ නිසා ඒ විශ්වාසභංගයට පක්ෂව ඡන්දය දෙන්න කටයුතු කරනවා කියලා අපි මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමාට කිව්වා. එතුමා අපිට අවසර දුන්නා.


පාර්ලිමේන්තු මන්ත්‍රි ජෝන් සෙනෙවිරත්න
මහ බැංකු කොල්ලේ ගැන විශ්වාසභංග යෝජනාවක් ගෙනාවා. අපි ඡන්දය දුන්නා. අපි වාර්තාවක් අස්සන් කළා. එහි කොමිටියේ මම හිටියා. සුසිල් හිටියා. ලක්ෂ්මන් හිටියා. දයාසිරිත් හිටියා. අපි සියලු දෙනාම හිටියා. කොමිසමේ නිර්දේශ කරලා ඊට පස්සේ මම හිතන්නෙ නෑ අපි පාර්ලිමේන්තුවේ ඉන්න ඕන කියලා. ඒ නිසයි විශ්වාසභංග යෝජනාවට අපි ඡන්දය දුන්නේ. කොල්ලය රනිල්ලා කළ බව කියූ අය මේ විශ්වාසභංග යෝජනාවට ඡන්දය දුන්නෙ නෑ. ඒ අය ඡන්දය නොදුන්න විතරක් නෙවෙයි අනෙක් අයත් වැළැක්වූවා. මෙන්න ඒ අයගේ ජාති හිතෛෂීකම.


පාර්ලිමේන්තු මන්ත්‍රි ලක්ෂ්මන් යාපා අබේවර්ධන
මේ රටේ ජනාධිපතිවරයෙක් පත්වෙන්න මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ ආශීර්වාදය ඕනමයි. අනෙක් නායකයන්ගේ ආශීර්වාදය අරගෙන අපේ ජනාධිපති කෙනෙකු පත්කර එක්සත් ජාතික පක්ෂය පලවා හරිනවා.


ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ දේශපාලනය කරලා ගිය ජනාධිපතිවරණයේදී මේ 16 දෙනාම මහින්ද රාජපක්ෂ මැතිතුමා ජයග්‍රහණය කරන්න දිවි හිමියෙන් කැප කළ උදවිය.
අපි මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාට ඡන්දය දුන්නෙ නෑ. අපි ඡන්දය දුන්නෙ වැඩ කළේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට. හැබැයි මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා සහ අපේ මන්ත්‍රිවරු අනූ පස් දෙනාම තීන්දු කරල මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ ආශීර්වාදය ඇතිව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිකම මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමාට දුන්නම අපි පාක්ෂිකයෝ හැටියට, පක්ෂයේ මන්ත්‍රිවරු හැටියට අපි ආණ්ඩුවට එකතු වුණා. ඒ ආණ්ඩුවට එකතු වුණේ අසූ දෙකයි. මන්ත්‍රිවරු පාර්ලිමේන්තුවට ඉල්ලපු වෙලාවෙ එතුමා පක්ෂයේ නායකයා ලෙස කටයුතු කරන වෙලාවෙ එතුමා තනි වෙනව කිව්වා යූඑන්පී එකත් එක්ක. නැතුව අපි යූ.එන්.පී. එකට ගියේ නෑ. මම කියලා තියෙනවා මම මැරෙන තුරු යූ.එන්.පී.යට යන්නෙ නෑ කියලා. ආපහු කියන්න ඕන නෑ. මම ඒක හොඳට දන්නවා. මොකද 2018 ලංකාවෙ මිනිහෙක් අඟහරු ලෝකෙට ගියොත් 2100 ඒ මිනිහ ලංකාවට ගොඩ බැස්සොත් යූ.එන්.පී. එකේ නායකයා කවුද කියලා ඇහුවොත් රනිල් වික්‍රමසිංහ කියලා උත්තර ලැබෙයි. මේ ආණ්ඩුවේ ගමනක් නෑ. ශ්‍රී ලංකා කාරයට ආරක්ෂාවකුත් නෑ. යූ.එන්.පී. කාරයට ආරක්ෂාවකුත් නෑ. රටේ මහජනතාවට ආරක්ෂාවකුත් නෑ. සුගතියක් නෑ. දුගතියක්මයි තියෙන්නෙ. ඒ නිසා අපි තීන්දු අරගෙන මේ ජනාධිපතිතුමා කිව්වා ඉන්න ඉන්න දෙසැම්බර් වෙනකම් ඉන්න කිය කියා.


කැබිනට් එකේදී රනිල් වික්‍රමසිංහ මහත්තයා ගේන්න හදපු වැරැදි දේවල්වලට සටන් කළා. අපි නැත්නම් බැංකු පෞද්ගලීකරණය කරලා. අපි නැත්නම් මේ සහන ලැබෙන්නෙ නෑ. ඔහොමවත් යන්තම් ජීවත් වෙලා ඉන්නවා. මේ මිනිස්සු ජීවත් වෙන්නෙ නෑ. මේ සියලු දේ පාලනය කළේ අපේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උදවිය. ඒ නිසා තමයි යූ.එන්.පී. එකේ පසුපෙළ මන්ත්‍රිවරු මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇමැතිවරුන්ට ගහන්න පටන් ගත්තේ. දේශපාලන සංවිධාන එක්ක කතා කරලා, මන්ත්‍රිවරු එක්ක කතා කරලා මේ විශ්වාසභංගය දිනන්න හදාගත්ත වෙලාවේ මේක පාවල දුන්නෙ කවුරුවත් නොවෙයි. මේක පාවල දුන්නෙ අපේම අය. ඒකයි අපිට තියෙන වෛරය අපේම අය සටන පාවල දුන්නෙ.


ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිතුමා කියනවා නම් ජනාධිපතිතුමා කියනවානම් මේ ආණ්ඩුවත් එක්ක ඉඳලා වැඩක් නෑ කියලා, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නැත්තටම නැතිවෙනවා මේ ආණ්ඩුව තුළ හිටියොත් ඔයගොල්ලෝ තීන්දුවක් ගන්න කියනව නම් අනිත් විසිතුන් දෙනාට ඇයි මේ තීන්දුව ගන්න බැරි. සමහර අය අහනවා මම දැක්කා රූපවාහිනියේ අපි කොහාටද යන්නෙ. අයින් වෙලා කොහාටද යන්නෙ අහනවා. අපි යන්නෙ මෙතෙන්ට ප්‍රගතිශීලී සටනට. වෙන කොහාටවත් නෙවෙයි.


මිත්‍රවරුනි අපි මේ සටන ආරම්භ කළේ ඊළඟ ජනාධිපති මැතිවරණයේදී සියලු දෙනාට පිළිගත හැකි ප්‍රගතිශීලී ජනාධිපති අපේක්ෂකයෙක් අපි සියලු දෙනාම සාකච්ඡා කරලා ඉදිරිපත් කරන වෙලාවෙ මාතර දිස්ත්‍රික්කයේ ජනතාවගේ ඡන්දය, ලංකාවේ ජනතාවගේ ඡන්දය අරගෙන ඒ දහසය දෙනා ප්‍රගතිශීලී අපේක්ෂකයා ජයග්‍රහණය කරවනවා.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon