එස්.එෆ්. ලොක්කාගේ ගෝලයකු වන චන්දන මාමාත් - චණ්ඩියාත් දැලේ

  👤  4161 readers have read this article !
By mawbima 2018-05-28

අනුරාධපුර - මහේෂ් විජේසූරිය


අනුරාධපුර බන්ධනාගාරයේ සිට මහ පරිමාණයෙන් හෙරොයින් ජාවාරම මෙහෙයවන දහයියාගම ලොකූ නොහොත් එස්.එෆ් ලොක්කාගේ උපදෙස් මත උතුරුමැද පළාතේ මත්කුඩු ව්‍යාප්තියට රැගෙන ආ විශාලතම හෙරොයින් තොගය වන හෙරොයින් ග්‍රෑම් 160ක ප්‍රමාණයක් සමඟ ඔහුගේ ගෝලයකු වන 'චන්දන මාමා' හා ඔහුගෙන් හෙරොයින් මිලදී ගන්නා "චණ්ඩියා" නමැත්තා අනුරාධපුර මූලස්ථාන පොලිසියේ විශේෂ මෙහෙයුම් ඒකකය මඟින් අත්අඩංගුවට ගෙන ඇත.


අනුරාධපුර මූලස්ථාන පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සංජීව මහානාම මහතා යටතේ ක්‍රියාත්මක විශේෂ මෙහෙයුම් ඒකකයේ ප්‍රධානී පොලිස් සැරයන් බාලසූරිය මහතා ඇතුළු පිරිසක් අනුරාධපුර විජයපුර ප්‍රදේශයේ පෙරේදා (26දා) සවස සිදුකළ වැටලීමේදී රුපියල් හැත්තෑ
දෙලක්ෂයක් (72,00,000) පමණ විකුණුම් වටිනාකමක් සහිත ග්‍රෑම් එක බැගින්වූ හෙරොයින් පැකට් 160ක ප්‍රමාණය සමඟ චන්දන මාමාව අත්අඩංගුවට ගෙන ඇත.
වසන්ත සොයිසා ඝාතන නඩුවේ ප්‍රධාන සැකකරුවකු වන එස්.එෆ්. ලොක්කා නොහොත් ඉරෝන් රණසිංහ නමැත්තා දැනට මහාධිකරණයේ දැඩි ඇප කොන්දේසි මත මුදාහැර සිටින අතර විදේශීය නිෂ්පාදිත ජීව අත්බෝම්බයක් ළඟ තබා ගැනීමේ චෝදනාවට පොලිස් අත්අඩංගුවට පත්වී වසරකුත් මාසයක කාලයක් අඛණ්ඩව රක්ෂිත බන්ධනාගාර ගතව සිටී.


සැකකරු බන්ධනාගාර ගතවීමෙන් අනතුරුව මාස ගණනාවක් තිස්සේ ජංගම දුරකථන මඟින් අනුරාධපුර බන්ධනාගාරයේ සිට හෙරොයින් ජාවාරම මෙහෙයවන අතර ඔහුගේ ගිණුම්වලට පසුගිය දින කිහිපයේම මුදල් බැරවී තිබෙන බව පොලිසිය කළ පරීක්ෂණවලදී අනාවරණය කරගෙන තිබිණි.


සැකකාර 'චන්දන මාමා' එස්.එෆ්. ලොක්කාගේ උපදෙස් මත කොළඹ කොටහේන ප්‍රදේශයට ගොස් හෙරොයින් රැගෙනවිත් තිබෙන බවත් එක් හෙරොයින් ග්‍රෑමයක් රුපියල් 13000ක් වැනි මිලයට කොළඹින් රැගෙනවිත් එස්.එෆ්. ලොක්කාගේ ගැනුම්කරුවන්ට රුපියල් 35000 - 45000ත් අතර මුදලකට අලෙවි කරන බව පොලිසිය අනාවරණය කරගෙන තිබිණි.


සැකකරු හෙරොයින් රැගෙනවිත් නිවෙසේ තබාගෙන ග්‍රෑම් එක බැගින් වූ පැකට් සකසන බවත් එස්.එෆ්. ලොක්කාගේ ගිණුමට ඊසි
කෑෂ් මඟින් මුදල් බැරවූ වහාම ඔහු චන්දන මාමාට බන්ධනාගාරයේ සිට ඇමතුම් ලබාදී යම් ස්ථානයක හෙරොයින් තබන්නැයි දෙන උපදෙස් මත ඔහු හෙරොයින් පැකට් විවිධ ස්ථානවල සඟවන බව පොලිසිය පැවැසුවේය. සැකකරු ඒ ආකාරයට හෙරොයින් සැගවීමට කිසිවකුටත් සැක නොසිතෙන අන්දමින් පයින් ගමන් කරද්දී විජයපුර අභය මාවතේදී සැකකරු ගියමඟ අහුරා අත්අඩංගුවට ගෙන තිබිණි.


එස්.එෆ්. ලොක්කාගේ ගිණුමට රුපියල් 24,000ක මුදලක් බැරකර හෙරොයින් රැගෙන යමින් සිටි නොච්චියාගම පදිංචි 'චණ්ඩියා' නමැති ජාවාරම්කරු හෙරොයින් මිලිග්‍රෑම් 450ක් සමඟ පොලිසිය අත්අඩංගුවට ගෙන තිබිණි. අත්අඩංගුවට ගත් සැකකරුවන් ඊයේ (27දා) අනුරාධපුර ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.


අනුරාධපුර කොට්ඨාස භාර පොලිස් අධිකාරි තිළිණ හේවාපතිරණ මහතාගේ උපදෙස් මත අනුරාධපුර මූලස්ථාන ප්‍රධාන පොලිස්
පරීක්ෂක ඊ.එම්. සංජීව මහනාම මහතාගේ උපදෙස් මත මෙහෙයුම් ඒකකයේ ප්‍රධානි සැරයන් බාලසූරිය මහතා ඇතුළු පිරිසක් සැකකරුවන් අත්අඩංගුවට ගත්හ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon