මුලතිව්, වැලිඔය, සහ අනුරාධපුර පොලිස් ලොක්කන් තිදෙනකුට අද අධිකරණයේ පෙනී සිටින ලෙස නියෝග

  👤  4063 readers have read this article !
By mawbima 2018-05-28

අනුරාධපුරය - ආනන්ද කරුණාදාස


වැලිඔය පොලිස් අත්අඩංගුවේ සිටි 12 හැවිරිදි බාලවයස්කාර පිරිමි දරුවකු රාත්‍රියේ රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරියකු විසින් බරපතළ ලෙස අපයෝජනය කර ඇති බව කියන සිද්ධිය සම්බන්ධයෙන් කරුණු දැක්වීමට අද (28දා) අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස මුලතිව් සහකාර පොලිස් අධිකාරිවරයාට, වැලිඔය පොලිසියේ ස්ථානාධිපතිවරයාට සහ අනුරාධපුර කොට්ඨාස ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිට කැබිතිගොල්ලෑව දිසා විනිසුරු සහ මහෙස්ත්‍රාත් මනෝජ් ප්‍රභාකරන් මහතා නියෝග කළේය.


විනිසුරු ප්‍රභාකරන් මහතා ලබා දුන් මෙම අධිකරණ නියෝගයට අනුව මුලතිව් සහකාර පොලිස් අධිකාරි මයුර පෙරේරා, වැලිඔය පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක වෑත්තෑව සහ අනුරාධපුර කොට්ඨාස ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනි පොලිස් පරීක්‍ෂිකා නිශානි සෙනෙවිරත්න යන මහත්ම මහත්මීන් අද (28දා) පෙරවරුවේ කැබිතිගොල්ලෑව මහෙස්ත්‍රාත් අධිකරණයේ විවෘත අධිකරණ ශාලාවේ පෙනී සිටීමට නියමිතය.


කැබිතිගොල්ලෑව මහෙස්ත්‍රාත් අධිකරණයේ පරිවාස නිලධාරි සුසන්ත ඒකනායක මහතා අධිකරණයට කළ කරුණු දැක්වීමක් සැලකිල්ලට ගනිමින් විනිසුරු ප්‍රභාකරන් මහතා මෙසේ නියෝග කළේය.


වැලිඔය පොලිසිය තුළදී අපයෝජනයට ලක්ව ඇති බව කියන 12 හැවිරිදි පිරිමි දරුවා පරිවාස බලධාරීන්ට පවසා ඇත්තේ තහඩු සොරකම් කිරීමේ චෝදනාවකට තමන් වැලිඔය පොලිසිය මඟින් පසුගිය 8දා අත්අඩංගුවට ගත් බවයි. එසේ අත්අඩංගුවට ගෙන පසු දින (9දා) පදවිය මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන තුරු තමා වැලිඔය පොලිසිය තුළ රඳවා තබාගත් බවද එදින රාත්‍රියේ වැලිඔය පොලිසිය තුළ සිටියදී එහි රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරියකු තමන් බරපතළ ලෙස අපයෝජනය කළ බවද සඳහන් කර ඇත.


අපයෝජනය කළ මෙම සිද්ධිය යමකුට කිව්වොත් වෙඩි තබා මරා දමන බවට තර්ජනය කළ බවද දරුවා තවදුරටත් පරිවාස නිලධාරීන්ට කියා තිබේ. දරුවා උතුරු මැද පළාත් පරිවාස දෙපාර්තමේන්තුවේ ළමා රැඳවුම් නිවාසයට යොමුකර ඇත්තේ කැබිතිගොල්ලෑව දිසා විනිසුරු සහ මහෙස්ත්‍රාත් මනෝජ් ප්‍රභාකරන් මහතා පසුගිය 9දා පදවිය සංචාරක මහෙස්ත්‍රාත් අධිකරණයේදී ලබාදුන් නියෝගයකට අනුවය.


අනුරාධපුරය කොට්ඨාස භාර පොලිස් අධිකාරි තිළිණ හේවාපතිරණ මහතාගේ නියෝග මත අනුරාධපුර කොට්ඨාස ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනි පොලිස් පරීක්‍ෂිකා නිශානි සෙනෙවිරත්න මහත්මිය සිද්ධිය පිළිබඳ දරුවාගෙන් දීර්ඝව ප්‍රකාශ සටහන් කරගෙන අනතුරුව දරුවා අනුරාධපුර ශික්‍ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරි හමුවට ඉදිරිපත් කර ඇති අතර වෛද්‍ය පරීක්‍ෂණයේදී අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා සනාථ කර ඇත්තේ දරුවා බරපතළ ලිංගික අපයෝජනයකට ලක්ව ඇති බවය.


මෙම සිද්ධිය සම්බන්ධයෙන් අනුරාධපුර කොට්ඨාස ළමා හා කාන්තා කාර්යාංශය පැවැත්වූ සියලු විමර්ශනවල උද්ධෘත ඉදිරි කටයුතු සඳහා මේ වන විට මුලතිව් කොට්ඨාස භාර ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරි වසන්ත කන්දේවත්ත මහතාට යොමු කර
තිබේ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon